"සුදු මැස්සා" (Whitefly) මර්දනයට කඩිනම් පියවර !

"සුදු මැස්සා" (Whitefly) මර්දනයට කඩිනම් පියවර !

පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන "සුදු මැස්සා" (Whitefly) කෘමි උවදුර මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම කෘමි උවදුර පිළිබඳ පොල් වගා කරුවන් දැනුවත් කිරීම සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගකිවයුතු ආයතන විසින් මේ වන විටත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යයන්හි දායකත්වය විධිමත්ව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණි.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ කාළගුණික වෙනස්කම්, නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ගෙන ආ පොල් පැළ වගා කිරීම සහ ස්වභාවික පරපෝෂිතයන් එකවර අඩුවී යාම වැනි හේතු මෙම කෘමි උවදුර ව්‍යාප්තවීමට බලපා ඇති බවත්, කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පොල් වගාකරුවන් මේ වන විට මෙම කෘමි උවදුරේ බලපෑමට ලක්ව සිටින බවය.

මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා අදාළ ආයතන මගින් ගෙන ඇති පියවර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරීන්ගේ හිඟය ප්‍රධාන ගැටලුවක් වී ඇති බව මෙහිදී සඳහන් කෙරුණු අතර, ඊට විසඳුමක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය නිලධාරින් දක්වා සියලු දෙනා මීට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන්නේය.

එසේම “සුදු මැස්සා" කෘමි උවදුරෙන් හානි වූ වගාවන් පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා කෘමි උවදුර මර්දනය කිරීම සඳහා මෙම විෂය සම්බන්ධ කටයුතු කරන විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට ද උපදෙස් දුන්නේය.

මතුව ඇති තත්ත්වය පාලනය කිරීම සහ මර්දනය සඳහා පරපෝෂිතයන් වගා කිරීම, අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම වැනි කඩිනම් විසඳුම්වලට යොමු වන ලෙස ද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් උ‍පදෙස් දෙනු ලැබීය.

අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න