Image

"2027 පසු ජනතාවට හිතකර අනුප්‍රාප්තික IMF ගිවිසුමක් අවශ්‍යයි" - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

"2027 පසු ජනතාවට හිතකර අනුප්‍රාප්තික IMF ගිවිසුමක් අවශ්‍යයි" - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2027 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අවසන් වූ පසු, සමස්ත ජනතාවට හිතකර අනුප්‍රාප්තික IMF ගිවිසුමක් රටට අවශ්‍ය බවත්, 

පවතින ගිවිසුම තුළ ඇති ජනතා පීඩනය නැති කර ජනතාවට හිතකර ආර්ථික තත්ත්වයක් නිර්මාණය කළ හැකි අනුප්‍රාප්තික IMF ගිවිසුමක් කරා රජය යොමුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ 2027 පසු IMF ගිවිසුමෙන් ඉවත් වන බවට රජයේ ප්‍රබල අමාත්‍ය වරයෙකු වන බිමල් රත්නායක පෙන්වා දී ඇති බවත්, ජනතාව මේ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතු බවයි.

එමෙන්ම 2027 දී IMF වැඩසටහන අවසන් වන්නේ මෙරට පුනර්ජීවන වැඩසටහන සම්පූර්ණ වීමෙන් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කළ ප්‍රධාන කරුණු කිහිපය මෙසේය:

ජනහිතකාමී නව ගිවිසුමක අවශ්‍යතාව

වත්මන් IMF ගිවිසුම මගින් අධික පීඩනයක් හා අසහනයක් ජනතාව මත පටවා ඇති බවත්, මීළඟට අවශ්‍ය වන්නේ දුප්පත්කම තුරන් කරන, අපනයන ප්‍රවර්ධනය කරන, ගොවි-ධීවර, කම්කරු, ව්‍යවසායක ඇතුළු ලක්ෂ 220ක් වන සමස්ත ජනතාවට සහන සලසන "අනුප්‍රාප්තික IMF ගිවිසුමක්" බවත් ඔහු පැවසීය.

 

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය

2027 මාර්තු මාසයේදී පවතින වැඩසටහන අවසන් වන විට, ණය හිමියන්ගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසනීයත්වය පලුදු නොවන, විදේශ සංචිත ස්ථාවරව පවත්වාගන්නා සහ වෙළඳපොළ ප්‍රවේශය රැකගන්නා ආදේශක වැඩපිළිවෙළක් රටට අත්‍යවශ්‍ය වේ.රටේ වත්මන් ණය සහ සංචිත තත්ත්වය: IMF ප්‍රක්ෂේපණයන්ට අනුව 2026 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 100%ක් සහ 2027 දී 96%ක් ලෙස ඉහළ මට්ටමක පවතින බවත්, ණය හා පොළී ගෙවීම සඳහා රාජ්‍ය ආදායමෙන් 15%ක් පමණ වෙන් කිරීමට සිදුවීම අහිතකර තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 

වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ පසුගිය රජයේ IMF ගිවිසුමයි

IMFවැඩසටහන තුළ වත්මන් රජය විශේෂයෙන්ම සාර්ව සංවර්ධිත බැදුම්කර වැඩපිළිවෙළ තුළ ඉහළ ණය හා පොලී ප්‍රමාණයක් නිර්මාණය විය යුතු බවත් සාර්ව සංවර්ධිත බැදුම්කර සම්බන්ධයෙන් පසුගිය රජය ගත වූ ගිවිසුම ජනතාවට වැඩි පීඩනයක් හා බරක් ලබා දී වත්මන් රජය ද ක්‍රියාත්මක කරන බවත් මේ නිසා අප රට ඉතාම අසීරු තැනකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

නව රැකියා සහ දුප්පත්කම පිටුදැකීම

දැනට 30%-40% දක්වා ඉහළ ගොස් ඇති දුප්පත්කම තුරන් කිරීමටත්, රැකියා නොමැතිව අනාථ වී සිටින උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ උපාධිධාරී තරුණ තරුණයින්ට රැකියා උත්පාදනය කිරීමටත් හැකිවන පරිදි පවත්නා ජනතා විරෝධී කොන්දේසි වෙනස් විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇමතිවරු උදම් ඇනුවට රටට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි

බිමල් රත්නායක අමාත්‍යවරයා කෙතරම් උදම් ඇනුවත් මේ කැලඹුණ ගෝලීය තත්ත්වය තුළ ජනතාවට හිතවාදී නව IMF ගිවිසුමක් රටට අවශ්‍ය බවත් මේ ගිවිසුම හරහා ජනතාවට පීඩනකාරී අසහනකාරී ජනතාවට බරපතල කම්පන ගෙන එන එකගතාවක් නොව ජනතාවට සහන ලැබෙන ගිවිසුමක් තිබිය යුතු බවත් ආර්ථික විශ්වාසනීයත්වය රාජ්‍ය ආයෝජන නිසිලෙස ක්‍රියාත්මක කිරීම පෞද්ගලික ආයෝජනවලට අවශ්‍ය විශ්වාසනීයත්වය සෘජු විදේශ ආයෝජන ආනයන වෙනුවට අපනයන ප්‍රවර්ධන ආර්ථිකය ගොඩනැංවීම රට තුළ සිදුවිය යුතු බවත් ඊට අමතරව සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථික ස්ථාවරත්වය සේම විශ්වාසනීයත්වය තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

රට කෙතරම් දුරට ස්ථාවරද නැද්ද කියා ජනතාව සමඟ සිදු කරන සාකච්ඡා තුළින් පෙනී යනවා

මේ මූල්‍ය ස්ථාවරත්වය ගැන පසුගිය රජය සේම වත්මන් රජය ද දැන් උදම් අනමින් සිටින බවත් කොපමණ උදම් ඇනුවත් මහපොළවට පය ගසා සාමාන්‍ය ජනතාව සමඟ සාකච්ඡා කරන විට ජිවන පිරිවැය හා උද්ධමනය වැඩිව ඇති බවට පෙනෙන බවත් මේ මොහොත් බාහිර කම්පන හා අනුගාමික කම්පන ගැන වගබලා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නැවත වරක් පෝලිම් යුගයක් නම් රටට එපා

ගෝලීය යුද්ධය හා දේශගුණික විපර්යාස නිසා නිර්මාණය විය හැකි අභියෝගයන්ට ඔරොත්තු දෙන රටක් නිර්මාණය කළ යුතු බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා ජනප්‍රිය මාධ්‍ය ප්‍රකාශ ලබා දීම වැඩක් නැති බවත් රටේ පොලීම් යුගයක් නැවත අවශ්‍ය නොවන බවත් ආදායම් කඩන්වැටී ඇති මොහොතක රටට නැවත පණක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පළ කළ සම්පූර්ණ අදහස් දැක්වීම නරඹන්න පිවිසෙන්න පහළ වීඩියෝවෙන්.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න