Language Switcher

V2025

සාගරයි සංජීවයි තරගයක් : රෝ එක බැසිල් හම්බෙලා !

මොල හතක් තියෙනවයි කියන බැසිල් රාජපක්ෂ, ලංකාවට ආපු දවසේ ඉඳලා , එක මිනිත්තුවක් නිකං නෑ කියලයි, පොහොට්ටුවේ එක ප්‍රකාශකයෙක් කිව්වේ. ප්‍රකාශකයා වෙන කවුරුවත් නෙවෙයි. සංජීව එදිරිමාන්න. සංජීව කියන්නේ බැසිල්ගෙ ළඟටම වෙලා ඉඳලා, බැසිල්ව අයිති තමන්ට කියලා හිතාගෙන, වැඩ කරන මන්ත්‍රීවරයෙක් කියලයි, අපි දන්නෙ. හැබැයි ඒකටත් ඕන් දැන් තරගයක්.

තරගයක් කිව්වම, ඒ කාත් එක්කද කියලා ඕගොල්ලෝ බලාවි. ඇත්තම කියනවා නම්, කාලෙක ඉඳලා බැසිල්ගෙ ළඟම ගෝලයා වෙන්න, පක්ෂයෙ මහලේකම්, සාගර කාරියවසමුයි සංජීවයි අතර , පුංචි නිහඬ සටනක් පටන් ගෙන තිබුණා. සංජීව කාලෙකදි ඉස්සරහට ආවා. ඒත් මේ දවස් වල නං සංජීව පරද්දල ඉදිරියට එන්න, සාගර සමත් වෙලා...

ඒ දෙන්නගෙ සටනත් හරියට, football world cup එකේ, සහභාගි වෙන, අන්තිම තරගාවලිය නිසා , වාර්තාවක් තියන්න, රොනාල්ඩෝ යි මෙසීයි අතර තියන තරගය වගේම තමයි....

පහුගිය දවස්වල, පත්තර වලට මීඩියා වලට කතා කරමින්, බැසිල්ගේ තොරතුරු කියන්න, බැසිල් පිලිබද නිවුස් දෙන්න, මැසේජ් ගැන සුභවාදී ප්‍රකාශ නිකුත් කරන්න, එදිරිමාන්න මොනතරම් මහන්සි වුණත්, ඊට වඩා ලොකු දෙයක්, සාගර එක වොයිස් කට් එකෙන් කරලා දැම්මා...

ඔන්න ඔය අස්සෙ තමයි, බැසිල් ගිය ඉරිදා ආපු වෙලාවේ, ගුවන්තොටුපලේ විශේෂ ප්‍රභූන් වෙනුවෙන් තියන, පර්යන්ත හා වරප්‍රසාද පාවිච්චි කරමින්, රජයේ මුදල් අවභාවිතා කරලා කියන, චෝදනාව එළියට ආවේ.

සමාජ මාධ්‍ය වලින් , මේ චෝදනාව, තදටම බැසිල්ට එරෙහිව එල්ල කළා. ඒ වෙලාවේ, පක්ෂය වෙනුවෙන් කතා කරමින් , එහෙම දෙයක් වුණේ නෑ කියලා , කරුණු පැහැදිලි කරන්න ඉදිරිපත් වුණේ සාගර...

"කිසිම මුදල් අවභාවිතාවක් වෙලා නෑ... රජයේ මුදල් සතයක්වත්, බැසිල් මහත්තයාගේ ආගමනය වෙනුවෙන්, වියදම් වෙන්න විදියක් නෑ... මොකද ඒ සියලුම මුදල්, පක්ෂය විසින් ගෙවා දැමුවා..."

ඔන්න ඔය අස්සේ මාධ්‍ය අතර ඉන්න, කවුදෝ දග පන්දු කාරයෙක්, සාගරගෙ කකුල් දෙක මුලටම , දුස්රාවක් දැම්මෙ මෙන්න මෙහෙම.

"රෝ සංවිධානයේ නියෝජිතයෝ වගයක් ඇවිල්ලා, බැසිල් මහත්තයා හම්බෙලා, සාකච්ඡාවක් කරා කියලත් ආරංචියි..."

සාගර පසු පාදයට ගිහින්, බැට් එකයි පාදයයි දෙකම ඉස්සරහට දාලා, විකට් එක බේරගත්තේ මෙන්න මෙහෙම....

"ඇයි... එතුමට ඒ වගේ කවුරු හරි හම්බවෙන්න, තහනමක් කරලා තියෙනවද..?"

"ඒ කියන්නේ එහෙනම් හම්බ වෙලා තියෙනවා...?"

"ඒක මන් දන්නෑ.... ඒක අහන්න ඕන එතුමාගෙන්. හැබැයි එතුමට ඒ කවුරුවත් හම්බවෙන්න තහනමක් නෑ..."

රෝ එකයි බැසිලුයි කළයි කියන සාකච්ඡාව, කොහොම වෙතත්, මේ දවස් වල රෝ එක ගැන නම්, අපේ දේශපාලන කරලියේ කතා-බස් බහුලයි. ලබන අවුරුද්දේ, ලංකාවේ දේශපාලනය තුළ, පෙරළියක් කරන්න, දැන් ඉඳලම, රෝ එක වැඩ කරන්න පටන් අරන් කියලා, පුංචි කතාබහක්, පහුගිය දා පාර්ලිමේන්තු ආලින්දයකත් ඇතිවුණා.

හැබැයි එතන, ආණ්ඩුවේ මන්ත්‍රීවරු කවුරුවත් හිටියේ නෑ. හිටපු ඔක්කොම විපක්ෂයේ හා, ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච කණ්ඩායම් වල අය...

මේ කට්ටිය කතා උනේ, ලබන අවුරුද්දේ මැද විතර වෙනකොට ආණ්ඩුවට, නිසැකයෙන්ම මහ ඡන්දයක් පවත්වන්න සිද්ධ වෙනවා , කියලා තැන ඉදන්...

"ඡන්දයක් තියන්නේ නෑ කියලා, රනිල් කියලා ඉවරයි... ඔයගොල්ලො බොරුවට දගලනවා." ප්‍රශ්න ටිකක් මධ්‍යස්ථව දකින, එක් මන්ත්‍රීවරයෙක් එහෙම කිව්වා...

"ඔයා කතා කරන්නේ, දැන් තියෙන තත්ත්වය ගැන. හැබැයි ලබන අවුරුද්දේ ඡන්දයක් තියන්න කියලා, ඉල්ලලා, සජබේ මූලිකත්වයෙන්, ජවිපෙයි , පෙරටුගාමීන් සහ විපක්ෂයේ පක්ෂයි, පාරට බැහැලා උද්ඝෝෂණය කරන කොට, රනිල් කොහොමද ඡන්ද නොතියා ඉන්නේ.

මාර්තු වල නිසි කාලේ ආවම, අනිවාර්යයෙන් ම, එයාට ආණ්ඩුව විසුරුවාලා , ඡන්දයක් තියන්න වෙනවා. ඒකට ජාත්‍යන්තරයෙ සපෝට් එකක් තියෙනවා. විශේෂයෙන් රෝ එකේ..." මන්ත්‍රීවරයා එහෙම කිව්වේ, කාරණා කාරණා දැනමුත්තෙක් විදිහට.

"රෝ එක්ක ඉන්නේ ,රනිල් එක්කනේ..." තවත් මන්ත්‍රීවරයෙක් කිව්වා.

"ඒ ඉස්සර... 2015දී system change කරන්න රනිල්ට ඒගොල්ලො උදව් කලා තමයි. එකේ හිලව්වට රනිල් මොනාද ඉන්දියාවට කළේ...හම්බන්තොට චීනට දුන්නා. පෝට් සිටිය නතර කරනවා, කියලා කිව්වට, කළේ නෑ... අන්තිමේ ඉඩමත් වැඩි කරල දුන්නා. ඉන්දියාවට කළගුණ සළකන්නට රනිල්ට බැරි වුණා..." ජාත්‍යන්තර සබඳතා බහුශෘතයෙකු වගේ ඒ මන්ත්‍රීත්, මෙන්න මෙහෙම විස්තර, කියාගෙන කියාගෙන ගියා.

දේශපාලන වාර්තාකරු