Language Switcher

V2025

ආර්ථිකය ගොඩනැගීම දුෂ්කර නෑ : ලලිත් ජන්ම සැමරුමේදී රවී කියයි !

ජනතාව සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක් මතුව ඇති බවත් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇදවැටී තිබෙන ආර්ථිකය නිවැරදි මාර්ගයට ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණය බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මෙරට ආර්ථිකය ගොඩගැනීම කළ නොහැකි දෙයක් නොවන බවත් ඊට අවශ්‍ය සැබෑ වුවමනාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ අද ( 26) කොළඹ පැවති දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වන ජන්මදින සැමරුමට එක්වෙමිනි.

කොළඹ පිහිටි දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ දුෂ්කරම අවස්ථාවේ රට ඉදිරියට ගෙනයා හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන බවය.

මතුව ඇති තත්ත්වය හමුවේ රට ඉදිරියට ගෙනයාම ලේසි පහසු කටයුත්තක් නොවන නමුත්, එම කටයුත්ත වෙනුවෙන් නිවැරදි මාවතට මේ වන විටත් යොමුව ඇති බවක් පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

රට ඉදිරියට ගෙන යන කටයුත්තේදී දිවංගත ලලිත් ඇතුලත්මුදලි දර්ශනය අතිශය වැදගත් වන බව සදහන් කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ආර්ථිකය මෙන්ම වරාය සහ නාවුක ක්ෂේත්‍රයේ සංවර්ධනය මෙන්ම මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය ඇතුළු ඇතුලත්මුදලි අමාත්‍යවරයා රටට සිදුකළ මෙහෙය සම්බන්ධයෙන්ද සිහිපත් කළේය.

"දේශපාලනයේ පුදුම කුහකකම් ඇවිත් තියනවා. ඒක නැති කරන්න ඕන . කරන්න පුළුවන් අය පැත්තකට දාලා කරන්න බැරි අය ඉදිරියට අරගෙන ගිහිල්ලා කරපු දේවල් වල ප්‍රතිඵල තමයි, අද මේ භුක්ති විඳිමින් තියෙන්නේ. ඒක නිවැරදි කරන එක අපි කරන්න ඕන."

අරගලය නමින් දිනපතා ඇති විරෝධතා සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකටද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රතිචාර දැක්වීය.

"රටට මුලින්ම විනයක් අවශ්‍යයි. ඒ විනය තුලින් තමයි රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. කෝලම් මඩුවක් වගේ රට ඉදිරියට ගෙනියන්න බෑ. අපේ රට නිදහස ලබලා අවුරුදු 74ක්. නමුත් අපි තවමත් ආර්ථික නිදහසක් ලබලා නෑ. අපි මේ ගැන දිගටම කතා කලේ. හැමදේම නිකන් දෙන්න ගිහිල්ලා , ඒවායේ ප්‍රතිවිපාක විඳින්න වෙලා තියෙන්නේ."

"අහිංසක ජනතාවට තවදුරටත් දුක් විඳින්න නොදී සියලු දෙනාම එකතුවෙලා රට හරි පාරට ගන්න ඕන. කතාව විතරක් මදි. ක්‍රියාවත් තියෙන්න ඕන. අරගලය කියන්නේ පශ්න නිසා පීඩාවට පත්වූ ජනතාවගේ සිතීම එලියට ආපු අවස්ථාවක්. අරගලය පාවිච්චි කරන්න අවශ්‍ය එහි පාඩම හරියට ඉගෙනීමට මිසක් හැම හන්දියක් ගානේ කෑ ගසා ප්‍රශ්න ඇතිකරලා රටක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද ?

"සියයට 30-32 පොලී අනුපාත එක්ක රටක් ඉදිරියට ගෙනියන්න බෑ. කෑගැහුවා කියලා පොලි අනුපාත අඩුවෙනවා නම් කෑගහහ ඉමු. අපි මෑතකදී සංවර්ධනය වූ රටවල් ගැන කතා කරනවා නමුත් ඒ රටවල් එම තත්ත්වයට එන්න සිදුකළ කැපවීම් ගැන කතා කරන්නේ නෑ."

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එහිදී පෙන්වා දුන්නේ සියයට 30 - 32 වැනි ඉහළ පොලී අනුපාතයක් සමඟ රටට ඉදිරියට යාම දුෂ්කර බවත් ඒ තුළ ආර්ථිකය තවදුරටත් හැකිළීයාමක් සිදුවන බවය.

"සියයට 30- 32 ඉහළ පොලී අනුපාතය සමඟ රටක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද ? මේ රටේ උද්ධමනය කාලනය කරන්න කියලා කරපු දෙයින් රටේ ආර්ථිකය සංකෝචනය කිරීමක් වෙන්නේ. ඒ තුල ජනතාව පීඩාවට ලක්කරලා. සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන් යටපත් කරලා,රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ ගැන හිතන්න ඕන. මානුෂීයව මේ දිහා බලන්න ඕන"

එසේම රටේ ආර්ථිය තවදුරටත් නිවැරදිව ඉදිරියට ගෙනයන මාර්ගය සම්බන්ධයෙන් ඉදිරියේදී මැදිහත්වීමක් සිදුකිරීමේ සූදානම සම්බන්ධයෙන්ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අදහස් දැක්වූ අතර අර්බුදයෙන් රට ගලවාගෙන ඉදිරියට ගෙනයාමට සියලු දෙනා එකමුතුව කැපවිය යුතු බවත් පෙන්වා දුන්නේය.