පාර්ලිමේන්තුවාරය වේලාසන අවසන් කළේ : දෝෂාභියෝගයක් වළක්වා ගන්න !

පාර්ලිමේන්තුවාරය වේලාසන අවසන් කළේ : දෝෂාභියෝගයක් වළක්වා ගන්න !

පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කළේ එළඹෙන 19 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් පිළිබඳ වාර්තාවීම නිසා බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම දෝෂාභියෝගය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ සංස්ථා සභාපතිවරයකු විසින් සකස්කර ඇති බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයට තොරතුරු ලැබී තිබුණු බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව එළඹෙන 19 වනදා නැවත රැස්වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා විදෙස්ගතවීම හමුවේ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වාලීම සඳහා පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් කඩිනමින් අවසන් කරමින් එය මැයි 08 දක්වා කල් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ බලතල අනුව අංක 2066/43 අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවාරය අවසන් කිරීම සිදුකර ඇත්තේ ඒ අනුවය.

sambandan 1 1000pxවිපක්ෂනායක ධූරයට අලකලංචියක් : 16 කණ්ඩායමෙන් විශේෂ ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුවාරය වේලාසන අවසන් කළාද?

මේ සම්බන්ධව newstube.lk වෙබ් අඩවිය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වෙතින් විමසූ අවස්ථාවේ දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානම සම්බන්ධව තමන් නොදැනුවත් බව පැවසීය.

නමුත් 19 වනදා විපක්ෂනායක ධුරය සඳහා විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවධානමක් සහ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ශ්‍රීලනිප 16 කණ්ඩායම පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමේ සුදානමක් පිළිබඳ ජනාධිපතිගේ සහ අගමැතිගේ පාර්ශව අතර සාකච්ඡාවූ බව ඔහු පැවසීය.

මෙතෙක් ආණ්ඩුවේ දිගටම සිටිනවාද නැද්ද යන්න සම්බන්ධව ශ්‍රීලනිපය තීරණයක් ගෙන නොතිබීම හමුවේ උද්ගතව තිබෙන අර්බුදකාරී තත්ත්වයත් ඒ සමයේදී ජනාධිපතිවරයා විදෙස් සංචාරයක නිරතවීමත් යන කාරනා මත පාර්ලිමේන්තු වාරය වේලාසන අවසන් කිරීමට තීරණය වූ බවද ඔහු පවසයි.

Anura k 1000pxවිධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ජවිපෙ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව වළක්වන්න පාර්ලිමේන්තු වාරය වේලාසන අවසන් කළාද ?

කෙසේ වුවත් ආණ්ඩුවට සම්බන්ධ තවත් දේශපාලන ආරංචිමාර්ගයක් සඳහන් කර සිටින්නේ කාලයක් තිස්සේ ප්‍රමාදවී තිබුණු ජාතික විගණන පනත් කෙටුම්පත විවාදය, රාජ්‍ය මුල්‍ය සහ දේපළ අවභාවිතා කිරීමට චෝදනා ලැබුවන්ගේ නඩු කඩිනම් කිරීම සඳහා ගෙන එනු ලැබූ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත විවාදය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඇතුළු වැදගත් කාරණා රැසක් 19 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබූ බවය.

එසේම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඇතුළු සංවේදී දේශපාලන කාරණා රැසක් සහ පෞද්ගලික මන්ත්‍රී යෝජනා රැසක්ද දැනට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ගොඩගැසී තිබුණු බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ලැබෙන වාර්තා සඳහන් කර සිටින්නේ යෝජිත කැබිනට් සංශෝධනය හරහා ආණ්ඩුවේ නව ගමනක් ආරම්භ කිරීමටත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය අලුත් කරගැනීමේ අපේක්ෂාවෙන් එජාප - ශ්‍රීලනිප දෙපාර්ශවයේ පොදු එකඟතාවක් මත පාර්ලිමේන්තු වාරය වේලාසන අවසන් කරන්නට තීරණයවූ බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න