ඉඩම් සම්බන්ධව කටයුතු කිරීමේදී මෙරට රාජ්‍ය ආයතන 123ක් ඊට සම්බන්ධ බවත් ඉඩමක් සංවර්ධනය කිරීමට යාමේදී අදාළ ආයතන 123 හරහාම යාමට සිදුව ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.
අමාත්‍යවරයා මෙම අනාවරණය සිදුකර සිටියේ ඊයේ (12) ජයවර්ධනපුර, තලපත්පිටිය මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම උත්සව සභාව ඇමතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමේදී එක තීරුපතක අංක 2 වෙනුවට අංක 3 යෙදීම නිසා එය නිවැරදි කරගෙන අවශ්‍ය ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීමට මාස 18ක පමණ කාලයක් ගතවන බවය.
එය තමා අමාත්‍යවරයෙකු ලෙස මුහුණදුන් අත්දැකීමක් බවත් ඒ හේතුවෙන් සංවර්ධන කටයුතු දියත් කිරීම පවා ඉතා දුෂ්කරව ඇති බවද ඔහු සඳහන් කරයි.
කැබිනට් සංශෝධනයක් සිදුවීමේදී විද්‍යාත්මක ක‍්‍රමයකට අමාත්‍යාංශවල විෂය බෙදීම සිදුවිය යුතු බවත් ඒ හරහා මේ දුෂ්කරතා ජයගන්නට කටයුතු කලයුතු බවත් එසේ නොවුණහොත් ජනතාවගේ දැවෙන සංවර්ධන ප්‍රශ්න විසඳීම ගැන ආණ්ඩුවට හිතන්නවත් නොහැකි වන බවද අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අද තිබෙන්නේ 5 වෙනි පරම්පරාවේ ලෝකයක්
අද මේ තාක්ෂණ ලෝකයේ සෑම මාස 18 කට වරක්ම දත්ත පද්ධතිය දෙගුණ වෙනවා. අද තිබෙන්නේ 5 වෙනි පරම්පරාවේ ලෝකයක්. තවද මාස 18 කින් හයවෙනි පරම්පරාව එනවා. හැබැයි අපි තවමත් තිස් හතලිස් ගණන්වල බි‍්‍රතාන්‍යයන් විසින් අපට දායද කළ පරිපාලන සේවයේ මූල්‍ය රෙගුලාසි මත අපි ආණ්ඩු කරනවා. මේ ආණ්ඩු අද යල්පැන ගිහිල්ලා. කි‍්‍රයාදාමයන් අද බිඳ වැටිලා හුඟක් කල්. ඒ නිසා සීග‍්‍රගාමී ආණ්ඩුවක් අද අපට අවශ්‍ය කරලා තිබෙනවා. හුඟක් රටවල මේ සීග‍්‍රගාමී ආණ්ඩු ක‍්‍රමය අත්හදා බලලා තිබෙනවා. ඒ නිසා ඔබතුමාටත්, ජනාධිපතිතුමාටත් ලැබුණු ජනවරමෙන් මේ ඉදිරි අවුරුදු දෙකේදී සීග‍්‍රගාමී ආණ්ඩුවක් විද්‍යානුකූල ආකාරයට පිහිටවලා අපි ආදර්ශයක් දෙමු.
මහජන විරෝධතා ඉවසන්න පුළුවන් : ඒත් රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයේ කැරකැවෙන කැරකැවිල්ල ?
මහජන විරෝධතා අපට ඉවසන්න පුළුවන්. පරිසර ඇගයීම් අනිවාර්යයෙන්ම කළ යුතුයි. නමුත් රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයේ කැරකැවෙන කැරකැවිල්ල ඉවසන්න අපට ටිකක් අමාරුයි. කොරියාව වැනි රටවල එකම අමාත්‍යාංශයක් යටතේ ඉඩම්, ජලය, යටිතල පහසුකම්, විදුලිය, ප‍්‍රවාහන සියළු ආයතන එකම අමාත්‍යාංශයක් එක අමාත්‍යවරයෙක් යටතේ තිබෙන්නේ. එමගින් වහාම සංවර්ධනය සිදු කෙරෙනවා. ඒ යටතේ රාජ්‍ය ඇමතිවරු සිටිනවා. මම හිතනවා ඔබතුමත්, අතිගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම පහසු ක‍්‍රමවේදයක් සකස් කළ යුතුයි කියා. ජයවර්ධන ජනාධිපතිතුමා මහවැලිය සංවර්ධන අමාත්‍යාංශය කරන කොට කෙටි කාලයකට විදුලි බල මණ්ඩලය, වාරිමාර්ගය, ඉඩම් අමාත්‍යාංශය අතට ගෙන මහවැලි ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන ගියා. එසේ නොවුනා නම් කවදාවත් එය ඉටු කරන්න බැහැ.
මධ්‍යම පන්තිය ජාතික මැතිවරණයකදී තීරණාත්මක වෙලා
විශේෂයෙන්ම ජනාධිපතිවරණය වැනි තීරණාත්මක මැතිවරණයකදී තීරක මෙහෙය සිදු කරන්නේ මේ වෘත්තීයවේදීන් පිරිස ගනු ලබන්නේ කොයි පැත්තද ඒ පැත්ත ජයග‍්‍රහණය කරනවා. මොනතරම් බලගතු පක්ෂ යාන්ත‍්‍රණ අනෙක් පැත්තට තිබුණත්. එය තමයි ලෝකයේ දේශපාලන කි‍්‍රයාවලිය. මේ මෑත කාලයේ අපට පෙනී යනවා යුරෝපයේ වැනි රටවල ඇති වූ මැතිවරණවලදී කි‍්‍රයාශීලි මධ්‍යම පන්තිය ඉටු කළා වූ කාර්ය භාරය. එය දැන් ලංකාවෙත් ඉටු කරනවා. එහි ප‍්‍රධාන සංකේත හැටියට තිබෙන්නේ අපේ පරිපාලන නගරය හැටියට හඳුනාගෙන තිබෙන කෝට්ටේ, කඩුවෙල මහරගම ප‍්‍රදේශ. අපේ කණගාටුවට කාරණය නම් අපේ පාර්ලිමේන්තුව මෙතනට ගෙනාවා. ඒ වගේම වටේම තිබෙන සියළුම ගොඩනැගිලි ඉදිකිරීම් මෙම වසරේ අපි ආරම්භ කරනවා. ඊයේ සෙත්සිරිපාය තෙවන අදියර ඉදිකිරීම් ආරම්භ කළා. ඒ වගේම සෙත්සිරිපාය 4 - 5 අදියරයන් මේ වසරේදී ආරම්භ කරනවා. රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයේ කැරකැවෙන කැරකැවිල්ල ඉවසන්න අමාරුයි
නඩුවක් අහන්න අවුරුදු 14 ක් යනවා
බි‍්‍රතාන්‍යයෙන් පරිපාලනයේ හෝ මුදල් රෙගුලාසිවලින් තවම අපි නිදහස ලබාගෙන නැහැ. ඒ ආකාරයට අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ. ඒ නිසා ආසියාවේ රටවල් හැම එකක්ම මහා ඉදිරි පිමි අරගෙන තිබෙන්නේ වෙනස්ව හිතලා වෙනස්ව කටයුතු කිරීමෙන්. ඒ නිසා ඒ වෙනස ජනතාවත් බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය පරිපාලනය, උසාවිය ස්වාධින උනාට වැඩක් නැහැ. කාර්යක්‍ෂමතාවය, අපක්ෂපාතීත්වය නොමැතිව. නඩුවක් අහන්න අවුරුදු 14 ක් යනවා. ඒ විදිහට යුක්තිය ඉටු වීමෙන් වැඩක් නැහැ. නඩු හත්ලක්ෂ පනස් දාහක් ගොඩ ගැසී තිබෙනවා. උසාවි ස්වාධින කරාට විනිසුරුවන්ගේ වැටුප් වැඩි කළාට ජනතාව තෘප්තිමත් නැහැ මොකද නඩු ඇහෙන්නේ නැහැ. මේ නඩු ඇසීම කාර්යක්‍ෂම කළ යුතුයි.