Language Switcher

V2025

පාර්ලිමේන්තුව විසුරුවන්නෙත් නෑ : ඩින්ඩියන් පාලනයට ඉඩකුත් නෑ - ජනපති

ලංකාව තුළ ඩින්ඩියන් පන්නයේ පාලනයක් සඳහා තමන් කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, එවැනි උත්සාහයක් ගැනුනහොත් හමුදාව, හදිසි නීතිය යොදවා එය වැළැක්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (23) පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහිදී ජනාධිපතිවරයා විශේෂ අවධාරණයක් කරමින් සඳහන් කර සිටියේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කදිම අනුගාමිකයෙක්වීමට වත්මන් විපක්ෂ නායකවරයා සුදුසුකම් සපුරා ඇති බවයි. ඒ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් දෙදෙනාම සමාන අදහස් දැරීම හේතුවෙනි. මෙහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් සිහිපත් කර සිටියේ ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම පළමුව සිදු කළේ ජනාධිපති ප්‍රේමදාස යුගයේදී බවත්, එවකට කර්මාන්ත අමාත්‍යවරයා තමන් බවත්ය.

එහිදී පෞද්ගලීකරණය කෙරුණේ ලාබ ලබන යනුවෙන් හඳුන්වන ආයතන බවත්, යුනයිටඩ් මෝටර්ස්, සිලෝන් ඔක්සිජන්, ලෙදර් කෝපරේෂන්, ටයර් කෝපරේෂන් ඇතුළු ආයතන කිහිපයක නම් ජනාධිපතිවරයා සභාවට සිහිපත් කළේය.

එහිදී අනුගමනය කළ ප්‍රතිපත්තිය වුයේ චීනය සම්බන්ධයෙන් ඩෙන්සියාඕ පින් ජනාධිපතිවරයා අනුගමනය කළ පියවර බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. එහෙත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදහස් දක්වමින් තම ප්‍රතිපත්තිය ලාබ ලබන ආයතන පෞද්ගලික ව්‍යවසාය වෙත පැවරීම නොවන බව පවසන විට ඔහුගේ කදිම අනුගාමිකයෙකු වෙමින් විපක්ෂ නායකවරයා ද එම අදහසට සහය දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේම මැයි 09දා සිට ජූලි 09දා දක්වා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. හොඳ හෝ නරක වේවා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්ව ඇත්තේ ජනතා ඡන්දයෙන් බවත්, ඔවුන් ඉවත් කළ යුත්තේ ද ඒ ක්‍රමයටම බවත් ජනාධිපතිවරයා පැවසීය.

තවද, 17, 19, 21 වැනි ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දුන් තමන්ව හිට්ලර් කියා හඳුන්වන බව ද ජනාධිපතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තුව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

"අපිට මෙතන තියෙන්නෙ වෙනසක් කරන්න. මම නං පාර්ලිමේන්තුව විසුවා හරින්න යන්නෙ නෑ. මේ රටේ ආර්ථිකය විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳගත්තට පස්සෙ කරන්න. මෙතන මං එකක් කියන්නම්, දැනට රටේ බොහෝ දෙනෙක්ට ඡන්දත් එපා වෙලා, දේශපාලන පක්ෂත් එපා වෙලා. මතක තියාගමු.

අද සජබෙ රැස්වීමට ගියාමත් තියෙන්නෙ පරණ මූණු නේ. මමත් දන්න මූණු නේ. මම බොහෝ වෙලාවෙදි බලා ගන්නවා. දන්න මූණු තියෙන්නේ. අලුත් මොකක්වත් නෑ. ඔබතුමා යන එකටත් ඉන්නෙ පරණ මූණු. තරුණයො බලන්නෙ මේකෙ වෙනසක් කරනවද නැද්ද කියලා. ඒක කරැයින් පස්සෙ අපි යං. ඒතකොට ඕනෙ කෙනෙකුට බලය ගන්න පුළුවන්. ඒක කරල සහනයක් දීල අපි යන්න ඕනේ.
ඒකයි මම කියන්නෙ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. මනාප ක්‍රමය තියෙනකං දූෂණය තියෙනව මේ රටේ. කොච්චර වියදම් කරනවද ආසනයක් දිනන්න. ඒ කාලේ මිලියන විසිපහක් වියදම් කරනවා. පනහක් කරනවා. අද රුපියල තුන්සිය අසු ගානට තියෙන්නේ. කරන්න වත් බෑ ඡන්ද. මේව අපි හිතන්න ඕනෙ. ඉතින් මම කියන්නේ මෙතන තියෙන ක්‍රමය වෙනස් කරන්න. මම ආපහු විපක්ෂයට කියනවා ඒන්න අපි ඔක්කොම ඒකතු වෙලා මේ වැඩකටයුත්ත කරමු. මට පුළුවන් මේ ඔක්කොම ඒක්ක වැඩ කරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ"

ජනාධිපතිවරයා මෙම සභාව ඇමතු අවස්ථාවේදී දේශපාලන බලය බෙදීම සම්බන්ධයෙන් ද එක් එක් පක්ෂ වෙතින් බලය බෙදීම සම්බන්ධයෙන් විවෘතව අදහස් විමසීමද විශේෂ සිදුවීමක් විය.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල බලය බෙදීමට තමන් පෞද්ගලිකව පක්ෂ බව පැවසීය. එසේම මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සමස්ත සමගි ජන සන්ධානය බලය බෙදීමට එකඟ බවත්, තමන් ඇතුළු අනෙක් පාර්ශව ඊට එකතුව සිටින්නේ එම පදනමින් බවත් පැවසීය.

සියලු දේශපාලන පක්ෂ බලය බෙදීමට එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් එළඹෙන 11 වැනිදා සිදුකිරීමට කටයුතු කරන බවත් මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය.