P 627 නෞකාව “විජයබාහු" නමින් ජනාධිපති අතින් අධිකාරියට !

P 627 නෞකාව “විජයබාහු" නමින් ජනාධිපති අතින් අධිකාරියට !

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.

නාවික හමුදා විශේෂ රථ පෙළපාලියකින් උත්සව භූමියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නාවික හමුදා උත්තමාචාර මැද පිළිගනු ලැබීය.

අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව “විජයබාහු" නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නෞකාවේ සමරු පොතෙ‍හි විශේෂ සමරු සටහනක් ද තැබීය.

නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

“Hamilton Class High Endurance Cutter” යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර් 115කි. උපරිම වේගය පැයට නාවික සැතපුම් 29කි. එක් වරකදි අවම වශයෙන් නාවික සැතපුම් 14,000ක දුරක් ආවරණය වන පරිදි අවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නාවික තාක්ෂණ උපාංග හා පහසුකම්වලින් ද මෙම නෞකාව සමන්විත වේ. ‍

එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කළ වකවානුවේ, එරට මුහුදු කලාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇත.

P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරුව එහි අණ දෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ නෞකාවේ පළමු කාර්ය මණ්ඩලයට අයත් 130 දෙ‍නෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට මාස 10ක පමණ කාලයක් නෞකාව සම්බන්ධ පුහුණුවක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නෞකාවේ නවීකරණ කටයුතු සිදු කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සි. ඩී වික්‍රමරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න