රටේ ආරක්ෂාව ගැන නොහිතුවොත් අනාගතයක් නෑ - ජනාධිපති

රටේ ආරක්ෂාව ගැන නොහිතුවොත් අනාගතයක් නෑ - ජනාධිපති

අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බවත් ඒ සඳහා ප්‍රතිපාදන ඉහළ නැංවීමේ වැදගත්කමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොක‍ළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

අද අප ජීවත්වන්නේ අප ඉපදුණු යුගයේ ලෝකයට වඩා වෙනස් ලෝකයක බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අප ඉපදෙන විට ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබූ අතර ඉන්දියන් සාගරය පිළිබඳ කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබූ බව ද සිහිපත් කළේය.

නාවික ගමනාගමනය නිදහසේ සිදු කළ නොහැකි නම් අපනයන ආර්ථිකයේ ඉලක්කගත අරමුණු සපුරාගත නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා භාණ්ඩ ප්‍රවාහනයේදී බාධා පැමිණියහොත් සිදුවන්නේ කුමක්දැයි ද විමසා සිටියේය.

2021 වසරේදී ජනතාවට මෙරටින් පිටවීමට නොහැකි වූ සහ ගොඩබිමෙන් හෝ මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකී වූ අවස්ථාවේ අත්දැකීම් ද සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අප සිටින පරිසරය අපේ පාලනයෙන් ගිලිහුණු අවස්ථාවකදී වුවද භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මත රටේ අනාගතය රඳා පවතින බව පෙන්වා දුන්නේය.

අන්‍ය පාර්ශවයන්හි ක්‍රියාවන් ශ්‍රී ලංකාවට බලපා හැකි නමුත් එහිදී දේශපාලන සහ රාජ්‍යතාන්ක්‍රික නිපුණතාවන් මෙන්ම හමුදා කුසලතාවන් භාවිතා කර අපේ සංක්‍රමණික අයිතියට සහ ගොඩබිමෙන් හා මුහුදෙන් ගමන් කිරීමට ඇති අයිතියට කුමන හෝ අන්දමින් බාධා ඇති නොවීමට වගබලාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වඩා ශ්‍රීමත් ‍ජොන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව පැවසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අතර සමාජීය විෂයන් සඳහා වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තවත් මණ්ඩපයක් කුරුණෑගල ආරම්භ කිරීමට තමා මුදල් අමාත්‍යාංශයට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත උපදෙස් දුන් බවද පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ද, පොලිස්පති සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221112 WA0012

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න