හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැසෙනු ඇතැයි කියා ඉන්ධන මිල වැඩි කළා නම්, දැන් එම අවදානම පහව ගොස් තිබෙන අවස්ථාවක මිල අඩු කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය මණ්ඩල සභාපති නීතිඥ පියල් දර්ශන ගුරුගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවා තිබූ මාධය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පියල් දර්ශන ගුරුගේ...
ආණ්ඩුව, පාරිභෝගිකයා ගෙන් කලින්ම මුදල් අයකර ගත්තා
''අපි දන්නවා මේ වන විට ලෝකයේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බව. අද උදෑසන වන විට බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 77ක් පමණ වුණා. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩු වුණත්, ලංකාවේ ඉන්ධන මිල අඩු වෙන්නේ නැහැ. මේ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමිය පැහැදිලිවම ප්‍රකාශ කළා, දැනට මිල අඩු කිරීමට හැකියාවක් නැති බවත්, පෙර මිල ගණන්වලට ගෙනා තොග පිළිබඳව සලකා බැලිය යුතු බවත්. නමුත් අපි මතක් කරනවා, ඉරාන–ඇමරිකානු ගැටුම ආරම්භ වූ අවස්ථාවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැසීම පිළිබඳ කතාබහ ඇති වූ විට, රට තුළ ප්‍රමාණවත් තොග තිබියදීත් ඉන්ධන මිල ඉහළ දැමූ බව. අපිට මතකයි, ජනාධිපතිවරණ සමයේදීත් රට තුළ අඩු මිලට ගෙනාපු ඉන්ධන තොග තිබිය දී සියලුම ඉන්ධන වර්ගවල මිල වැඩි කළා. එදා නිලධාරීන් කිව්වේ, “අනාගතයේ මිල වැඩි විය හැකි නිසා” කියලා. ඒ කියන්නේ අනාගතයේ ඇති විය හැකි මිල වැඩිවීම වෙනුවෙන් පාරිභෝගිකයා ගෙන් කලින්ම මුදල් අයකරගෙන තිබෙනවා.
ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ වහාම ඉන්ධන මිල අඩු කරන ලෙසයි. මාර්තු 1 වැනිදා වන විට පෙට්‍රල් ලීටරයක් රුපියල් 293ක් වූ අතර ඩීසල් ලීටරයක් රුපියල් 251ක් වුණා. පසුව පෙට්‍රල් මිල රුපියල් 434 දක්වාත්, ඩීසල් මිල සැලකිය යුතු ලෙසත් ඉහළ ගියා. හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැසෙනු ඇතැයි කියා මිල වැඩි කළා නම්, දැන් එම අවදානම පහව ගොස් තිබෙන අවස්ථාවක මිල අඩු කළ යුතුයි. මොකද වැඩි විය හැකි මිල වෙනුවෙන් ජනතාව දැනටමත් මුදල් ගෙවා අවසන්.
කසිප්පු ගැන හොඳින් ම දන්නෙත් කසිප්පු බොන අය
ඒත් එක්කම පොළොන්නරුවේ රාජ්‍ය නායකයෙක් ලෙස හඳුන්වාගන්නා ටී.වී. සරත් මහතා ඊයේ ප්‍රකාශ කළා, ගොවි නායකයින් කසිප්පුකාරයන් බව. මම හිතන්නේ කසිප්පු ගැන හොඳින්ම දන්නෙත් කසිප්පු බොන අය යි. මන්ත්‍රීවරයෙකු ලෙස කසිප්පු නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන අය ගැන පොලීසිය දැනුවත් කිරීම තමයි ඔහු ගේ වගකීම විය යුත්තේ. ගොවි නායකයන් කසිප්පු නිෂ්පාදනය කරනවා නම් ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. නැතිනම් එවැනි චෝදනා කිරීම සුදුසු නැහැ. අනෙක් පැත්තෙන් දැන් ගම්මිරිස් මිලත් සෑහෙන මට්ටමක තිබෙනවා. අපි දන්න ගම්මිරිස් වගා කරන මිත්‍රයන් කිහිප දෙනෙක් ම ඉන්නවා. ඒ නිසා යසසේන මහතා ගේ ප්‍රකාශ පිළිබඳව සොයා බැලීම වැදගත්. ඔහු කියා තිබුණේ ලක්ෂ ගණනක මුදල් වියදම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළ යුතු බවයි. ඒත් සමග ම, විපක්ෂයේ දේශපාලනඥයන් මර්දනය කිරීම සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරනවා. මෑතකදී ඉසුරු බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපි දැක්කා. ඔහු දේශපාලන පක්ෂයක නායකයෙක්. ඔහු රටින් පලා යාමට උත්සාහ කළ බවට හෝ විමර්ශනයකට සහයෝගය නොදක්වන බවට සාධක නොතිබිය දී, අපරාධකරුවෙකු මෙන් අත්අඩංගුවට ගැනීම අපි හෙළා දකිනවා.
වහාම ඉන්ධන මිල අඩු කරන්න
විශේෂයෙන්ම 1986 අංක 4 දරණ ජනාධිපති හිමිකම් පනත අනුව, හිටපු ජනාධිපතිවරයකුට පෞද්ගලික ලේකම්වරයකු, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද ලබාදිය යුතු බව සඳහන් වෙනවා. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඇතැම් චෝදනා අභූත චෝදනා විය හැකි බවට සැක මතු වෙනවා. අපිට මතකයි, මාර්තු 1 වැනිදා රුපියල් 251ක් වූ ඩීසල් මිල මාර්තු 10 වැනිදා වන විට රුපියල් 330ට වැඩි මට්ටමකට ඉහළ ගියා. එදා කිව්වේ අනාගතයේ මිල වැඩි විය හැකි නිසා ඒ අවදානම ආවරණය කිරීමට සිදු කළ බවයි. එහෙම නම් අද ලෝක වෙළඳපොළේ මිල පහළ යන විටත් එම තර්කයම යොදාගෙන ජනතාවට සහනයක් ලබාදිය යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ වහාම ඉන්ධන මිල අඩු කරන ලෙසත්, ආණ්ඩුවේ වියදම් කළමනාකරණය කිරීමේ බර ජනතාව මත පටවන්නේ නැති ලෙසත්ය.
දේශපාලන උපක්‍රමයක්
තවද, සිරිල් ගාමිණී පියතුමාට ගෞරවයෙන් සඳහන් කරන්න කැමතියි, පාර්ලිමේන්තුවේ දී ඇමතිවරයකු විසින් සිදු කළ ප්‍රකාශයක් එම අවස්ථාවේ දී ම නිවැරදි කළා නම් වඩාත් සුදුසු වන්නට තිබුණා. මොකද එම ඇමතිවරයා කියා සිටියේ අදාළ පත්කිරීම් සිදුකළේ කාදිනල්තුමා ගේ ඉල්ලීම මත බවයි. දැන් එම ප්‍රකාශය වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරීම දේශපාලන උපක්‍රමයක් ලෙස පෙනී යනවා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර, ඉන්දියානු සමාගමකට ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලබාදීමට විරුද්ධව පාර්ලිමේන්තුවේ අදහස් පළ කළා. 2012 සිටම එම ව්‍යාපෘතිය ඉන්දියාවෙන් ලංකාවට හඳුන්වාදීමට උත්සාහ කළත්, එතෙක් සිටි කිසිදු ජනාධිපතිවරයෙකු එය ක්‍රියාත්මක කළේ නැහැ. නමුත් අවසානයේ එය ක්‍රියාත්මක කළේ වර්තමාන ආණ්ඩුවයි. ඒ නිසා ඇතැම් ප්‍රකාශ සහ කතන්දර මහජනතාව නොමඟ යැවීම සඳහා ඉදිරිපත් කරන ඒවා ලෙස පෙනී යනවා. පාර්ලිමේන්තුවේදී කවුද කුමක් ප්‍රකාශ කළේද යන්න අමතක වී ඇත්නම්, ඒවා නැවත මතක් කර දිය හැකියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක ධම්මික සොලමන්
මේ ඉන්නේ අර පරණ නරි ටිකම තමයි
''හයේ පන්තියේ සිලබස් එකට අදාළ පෙළපොතවත් හදාගන්න බැරි මේ එකසිය පනස් නව දෙනා කොහොමද අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නේ? හයේ පන්තියේ පෙළපොත හදාගන්න බැරුව අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ කොහොම ද? ආචාර්යවරු, මහාචාර්යවරු කියලා එනකොට මේ රටේ මිනිස්සු හිතුවා අලුත් ව්‍යවස්ථාවක් හදලා අලුත් විදියකට ගමනක් යයි කියලා. දැන් තමයි මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ මැෂින් එකේ එක පැත්තකින් කෙසෙල් කොටයක් දැම්මත් අනිත් පැත්තෙන් එන්නේ පාපිසිම තමයි වගේ, මේ එකසිය පනස් නව දෙනාත් එහෙමයි කියලා. ඒකෙන් මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා මේ වැඩ බැරි ආණ්ඩුවක් කියලා. ඒ කාලේ කතාවක් තිබුණා. කැලේ රජ්ජුරුවෝ වෙලා හිටපු සිංහයාට පස්සේ නරි රංචුවක් හිතුවා, “අපිට කවදාවත් ගොඩ එන්න බැහැ. මේක වෙනස් කරන්න ඕනේ” කියලා. එතකොට තීන්ත බාල්දියක් ගෙනල්ලා, තමන්ව පාට කරගෙන, “අපි අලුත් කට්ටියක්. අලුත් විදියට හිතන, අලුත් ගමනක් යන කට්ටියක්” කියලා ආවා. හැබැයි ටික දවසක් යනකොට, වැස්සට තෙමිලා, අව්වට වේලිලා, අර තීන්ත ගියාම තමයි එළියට ආවේ පරණ නරි ටිකම කියලා. ඒ වගේම මේ රටේ මහජනතාවත් රැවටුණා. පාට ටිකක් ගාගෙන ඇවිල්ලා වෙනස් වුණා කියලා හිතුවත්, දැන් තමයි මිනිස්සුන්ට තේරෙන්නේ මේ ඉන්නේ අර පරණ නරි ටිකම තමයි කියලා.
ඒක නිසා තමයි අද ජීවන වියදම වැඩි වෙලා තියෙන්නේ. භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ආණ්ඩුව භාර ගන්නකොට ඩොලරයේ අගය රුපියල් 296ක් පමණ තිබුණා. අද එය රුපියල් 340 ගණනට ගිහිල්ලා තියෙනවා. ඒවයේ වන්දිය ගෙවන්නේ මේ රටේ අහිංසක ජනතාව. පසුගිය කාලවල රටට විවිධ ව්‍යසන ඇති වුණාමත් ඒ බර දරන්න සිද්ධ වුණේ සාමාන්‍ය ජනතාවටමයි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
