රට ධනවත් කරන ජේ.ආර්. දැක්ම ඉදිරියට ගෙන යා හැකි වත්මන් නායකයා ජනපති රනිල් !

රට ධනවත් කරන ජේ.ආර්. දැක්ම ඉදිරියට ගෙන යා හැකි වත්මන් නායකයා ජනපති රනිල් !

පුළුල් දැක්මක් ඇති නායකයෙක් වූ දිවංගත ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් තරුණ අවධියේදී රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ශ්‍රී ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත්, එවන් කාර්යයක් වර්තමානයේ ඉටුකළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ පවසති.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ලේ නෑකම ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ශක්තිය ඇති බව පැවසූ උන්වහන්සේ මොවුන් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා නිසි නායකත්වය හඳුනා නොගැනීම හේතුවෙන් රටට අද මෙවන් අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවත් පැවසූහ.
පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර් ජයවර්ධන මහතාගේ 26 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ අද (01) පැවති සංඝගත දක්ෂිණාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.
මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමට ද ජනාධිපතිවරයා එක් විය.

මෙහිදී වැඩිදුරටත් අනුශාසනාව සිදු කළ පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ,

ජීවත්ව සිටින සමයේ මිනිසුන්ගේ වටිනාකම බොහෝ දෙනාට තේරෙන්නෙ නැහැ. බුදුන්වහන්සේ මෙන්ම අනෙකුත් ශාස්තෘන් වහන්සේලා ජිවමානව සිටින සමයේ වටිනාකම දැනුනේ නැහැ. ඒ වගේම තමයි ජේ. ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් ජීවත් වෙලා ඉන්න සමයේ එතුමාගේ වටිනාකමක් තේරුණේ නෑ. ලංකාවේ සෑම රාජ්‍ය නායකයෙකුගේම ප්‍රතිමා හැදුවා. නමුත් ජේ. ආර් ජයවර්ධන මහතාගේ ප්‍රතිමාවක් හැදුවෙ නෑ.

අද අවුරුදු විසි හයක් ගත වෙලත් ජනාධිපතිවරයා ඇතුළු එම පවුලේ සියලු දෙනාම එකතුවෙලා මේ දානමය පිංකම සිදු කරනවා .මේ පවුලේ කෘතවේදී ගුණය ඉන් පෙන්නුම් කරනවා.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ බස්නාහිර පළාතේ නව තොටමුන උප ප්‍රධාන සංඝනායක තිඹිරිගස්යායේ අශෝකාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ගැටහැත්තේ සෝභිත ස්වාමීන් වහන්සේ,
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන ජේ. ආර් ජයවර්ධන මහතාගේ ගුණ අනුස්මරණය සෑම වර්ෂයකම සිදුකරනු ලබනවා. ජයවර්ධන ශ්‍රීමතාණන් කියන්නේ ආණ්ඩු පක්ෂයේ සිටියත්, විපක්ෂයේ සිටියත්, රාජ්‍ය නායකයා වෙලා සිටියත් එක ලෙස මනුස්සකම් වලින් පිරුණු නායකයෙක්.

එතුමා ලෝක සාම සමුළුවේදී “නහී වේරේන වේරානී" යන බුද්ධ වචනයෙන් ලොවම සුවපත් කළා. ඒ නිසාම ලංකාවට ජයවර්ධනපුර රෝහල, රූපවාහිනී සංස්ථාව වැනි ආයතන ගොඩනැගීමට ආධාර ලැබුණා. මෙවා ණය නොවෙයි. දේශපාලනය කරලා ගත්ත ඒවා නොවෙයි ලෝකයට සාමය පතුරලා සමගි කරලා ලැබුණු ආධාර යි.

එතුමා ලෝකයට ප්‍රකාශ කළ බුද්ධ වචනයේ වටිනාකම අද අපේ රටට වැඩියෙන්ම දැනෙනවා. අපේ රට අද විශාල අර්බුදයක තිබෙන වෙලාවක සියලු දෙනා වෛරයෙන් තොරව සමගිව රැස් වෙලා අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතුයි. ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ වටිනාකම එදාට වැඩියෙන් අද දැනෙන්නෙ අන්න ඒ නිසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

{gallery}ranil{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න