Image

අද එක ම පළාත් සභාවක හෝ මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයෙක් නැහැ - ජී. එල්. පීරිස්

අද එක ම පළාත් සභාවක හෝ මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයෙක් නැහැ - ජී. එල්. පීරිස්

ජනතාවට එදිනෙදා ජීවිතයට බෙහෙවින් වැදගත් වන කාර්යභාරයන් රාශියක් පළාත් සභාවලට පැවරිලා තිබෙන බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පවා ප්‍රකාශ කර තිබුණ ද අද එකම පළාත් සභාවක හෝ මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයෙක් නැතැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජන මතයට හිස නමනු, පළාත් සභා මැතිවරණය වහා පවත්වනු...! මැයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් අද (27) කොළඹදී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ  මහාචාර්ය ජී. එල්. පීරිස්...

අද පළාත් සභා මූල්‍ය සම්පත් භාවිතා කෙරෙන්නේ ආණ්ඩුකාරවරයා ගේ අභිමතය පරිදිWhatsApp Image 2026 05 27 at 1.30.14 PM

''පළාත් සභා මැතිවරණ මේ රටේ අවසාන වරට පවත්වන්න යෙදුණේ 2014 දී. ඒ කියන්නේ අවුරුදු 12කට කිසිම පළාත් සභා මැතිවරණයක් අපේ රටේ පවත්වලා නැහැ. එහෙත් පළාත් සභාවලට අතිශයින් වැදගත් කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා, "තොටිල්ලේ සිට සොහොන දක්වා" ජනතාවට එදිනෙදා ජීවිතයට බෙහෙවින් වැදගත් වන කාර්යභාරයන් රාශියක් පළාත් සභාවලට පැවරිලා තිබෙනවා කියලා. හැබැයි අද එකම පළාත් සභාවකවත් මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයෙක් නැහැ. කිසිම පළාත් සභාවක නැහැ. නමුත් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා ඒ පළාත් සභාවල වැඩකටයුතු සඳහා. එතකොට මේ මුදල් කන්දරාව අද හසුරවන්නේ, ප්‍රමුඛතා හඳුනා ගන්නේ, මොන මොන කාරණා සඳහාද ඒ මුදල වියදම් කරන්නේ කියන කාරණය පිළිබඳ තීරණ ගන්නේ ආණ්ඩුකාරවරයා. සම්පූර්ණයෙන්ම ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි තමයි මේ මූල්‍ය සම්පත් අද භාවිතා කෙරෙන්නේ. ජනතාව නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙකු ඒ වැඩකටයුතුවලට සම්බන්ධ වන්නේ නැහැ. අපි දකිනවා ඒක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් කියලා. අද අපි භුක්ති විඳින අයිතිවාසිකම් සියල්ලකම උල්පත හැටියට හඳුනා දෙන්න පුළුවන් වන්නේ සර්වජන ඡන්ද බලය. විටින් විට නිසි කාලයේ මැතිවරණ පැවැත්වීම.

පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ කියන්න පක්ෂයක ලේකම්වරයෙකුට අයිතියක් නැහැ

2017 පාර්ලිමේන්තුව අදහස් වුණා, එදා පැවතිච්ච ඡන්ද ක්‍රමය අහෝසි කරන්න. හැබැයි ඒ වෙනුවට අලුත් ඡන්ද ක්‍රමයක් ආදේශ කිරීමේ කටයුත්ත සම්පූර්ණ කරේ නැහැ. එම නිසා මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මැතිවරණ ක්‍රමය නිශ්චිත වශයෙන් නිර්වචනය කරලා නැති නිසා. ඊයේ දේශපාලන පක්ෂ 43ක ලේකම්වරු හා ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාව හමුවෙලා ‌‌බොහොම පැහැදිලිව, ලිඛිතව ප්‍රකාශ කරලා 2017ට ඉස්සෙල්ලා පැවැතුණු මැතිවරණ ක්‍රමය අනුව මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා. අංග සම්පූර්ණ මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කිරීමේ මුවාවෙන් දිගින් දිගටම මේ රටේ ඡන්ද කල් දැමීමට පුළුවන්කමක් නැහැ. ඒ වගේම ඊයේ රැස්වුණු දේශපාලන පක්ෂවල නියෝජිතයන් කිව්වා ස්වේච්ඡාවෙන්, ඒ අය එකඟ වෙනවා කියලා 25%ක් අපේක්ෂකයන් තරුණ හෝ කාන්තා ඒ වර්ගවලට අයත් වන විදිහට ඒ වැඩකටයුතු සලසා දෙනවා කියලා. එතකොට ඉතාමත් සරල සංශෝධනයක් මේ සඳහා අවශ්‍ය වන්නේ. මේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වන මූල්‍ය සම්පත් සම්පූර්ණ වශයෙන්ම ලබා දීලා තියෙනවා. කිසිම පක්ෂයක ලේකම්වරයෙකුට අයිතියක් නැහැ ප්‍රකාශයක් කරන්න පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ කියලා. ඒසේ කිරීමට සදාචාරාත්මක අයිතියකුත් නැහැ, නීතිමය අයිතියකුත් නැහැ. එම නිසා අද මෙහි රැස්වන සියලුම දේශපාලන පක්ෂ එක හඬින් රජයට බල කරනවා ඒ අවශ්‍ය සංශෝධනය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ඒක සම්මත කරගෙන මේ වර්ෂය තුළ අනිවාර්යෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියා.''

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

පළාත් සභා කියන්නෙ ලංකා ඉතිහාසයේ ම සන්ධිස්ථානයක්WhatsApp Image 2026 05 27 at 1.30.12 PM

''සුබ උදෑසනක් වේවා සියලුම මාධ්‍යවේදී හිතවතුන්ට. අද මෙම ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන් මම ඉදිරිපත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා වශයෙන්. මම රාජිත සේනාරත්න. අද මම හිතන්නේ මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, එතකොට සුමන්තිරන් මැතිතුමා වැනි නීතිඥවරු මේ පිළිබඳව නීතියේ කරුණු සහ මේ පිළිබඳව තිබෙන සාධාරණත්වය පිළිබඳව කතා කරා. නමුත් මම බලාපොරොත්තු වෙනවා, ඇත්තටම මේ පළාත් සභා නිර්මාණය කිරීම කරගත්තේ කොච්චර අමාරුවෙන්ද? මේකේ අතීතය, අද බොහොම දෙනෙකුට අමතක වෙලා. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව, මේ 'ජෙන් සී' (Gen Z) කියන පරම්පරාව අද මේවා ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා, මොනතරම් කුරිරු අන්දමින්ද පළාත් සභා නිර්මාණය වුණේ කියලා. මොකද ඒකේ වින්දිතයෙක් වශයෙන් මම, එදත් පළාත් සභාවලට වැඩ කරලා මගේ ඇඟේ, මගේ මේ මෙතන බෝම්බ කෑලි දෙකයි, මේ දකුණු උරහිසේ බෝම්බ කෑල්ලයි තියෙනවා පළාත් සභාව වෙනුවෙන් ඒ වේදිකාවල, පළාත් සභාව වෙනුවෙන් ජනතාව ඉදිරියේ කතා කරමින් ඉද්දි. ඒ නිසා ඉතාම මේ පළාත් සභා කියන එක මේ ලංකා ඉතිහාසයේම ඇත්තටම සන්ධිස්ථානයක්.

පළාත් සභා නිර්මාණය වුණේ ඉන්දු-ලංකා ගිවිසුම යටතේ

රජ කාලේ මේ රට ඇත්තට ම බලය බෙදාගෙන පාලනය කරේ. නමුත් ඉංග්‍රීසීන් මේ රට විදේශ අධිරාජ්‍යවාදීන් මේ රට නතු කරගත්තට පස්සේ මේක ඒකීය රාජ්‍යයක් කරලා, මේක එක මධ්‍යස්ථානයකින් පාලනය කරා. ඊට පසුව නැවත අර පැරණි ක්‍රමයට මේ රට බලය බෙදීමට ක්‍රියා කරපු සන්ධිස්ථානය. ඒක මහා ගිනි ජාලාවක්. මුළු රටම ගින්දර, ගිනි පත්තු වෙලා තමයි මේක පටන් ගත්තේ. උතුරේ ත්‍රස්තවාදීනුත් මේකට විරුද්ධ වුණා, දකුණේ ත්‍රස්තවාදීනුත් විරුද්ධ වුණා. උතුරේ කට්ටිය කිව්වා, "මේ බලය අපිට වැඩක් නැහැ. අපිට ඕනේ ෆෙඩරල් (Federal) වලටත් එහා යන බලයක්" කියලා. දකුණේ ත්‍රස්තවාදීන් කිව්වා, "මේක රට කැඩෙන බලවේගයක්" කියලා.

මෙන්න මෙවැනි සන්ධිස්ථානයක තමයි මේක තිබුණේ. එතකොට 1987 ඇතිවුණ වාර්ගික කෝලහාල තුළ මේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරා. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිටත් පහර දුන්නා. ඒ වගේ තත්ත්වයක් මේ රටේ නිර්මාණය වෙලා තිබුණේ එදා, අරාජික තත්ත්වයක්. එතකොට එතනින් තමයි, ඉන්දු-ලංකා ගිවිසුම යටතේ තමයි ඇත්තටම මේ පළාත් සභා නිර්මාණය වුණේ.

ජේ.වී.පී (JVP) එක මුළු රටම ගිනි තිබ්බා

මේ පළාත් සභා බලය නිර්මාණය වීම තුළ එතකොට උතුරේ ත්‍රස්තවාදී කණ්ඩායම් තුනක්, මිලිටන්ට් (Militant) කණ්ඩායම් 32ක්. මේ 32න් 31ක් ප්‍රජාතන්ත්‍රවාදය වැලඳගෙන, බලය බෙදීමට එකඟ වෙලා, "රට කැඩෙන්න ඕනේ නැහැ, අපිට බලය වෙන්කරලා දෙන්න" කියලා කිව්වා. නමුත් ඒකට එකඟ වෙලා ආයුධ බිම තියලා රජයට භාර දීලා අයින් වුණා. එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානයත් තමන්ගේ ආයුධ කීපයක් භාර දීලා ඇවිල්ලා නැවත අනිත් පැත්තට ගියා, මොකද ඊළාම ම ඕනේ කියල.

මෙන්න මේ වෙලාවේදී මේ බලය බෙදීමට ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ රජය, එදා බලය බෙදීමට ක්‍රියා කළා ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ගේ නායකත්වයෙන්. ඒ වෙනකොට මේ බලය බෙදීමට අපි විරුද්ධ පක්ෂයේ ඉඳලා, වමේ ව්‍යාපාරය, පැහැදිලිවම අපි හිටගත්තා මේ බලය බෙදීම සඳහා.

එතකොට මේ අනුව ජේ.වී.පී (JVP) එක තනිකරම මුළු රටම ගිනි තිබ්බා මේකට විරුද්ධව. මේකට කිව්වා "පළා බබා" කියලා. "පළා බබා අපිට එපා" කියලා පාසල් ශිෂ්‍යයෝ පවා පාරට ඇද්දා. "එක පළාත් සභාවක සිට අනිත් පළාත් සභාවට ගමන් කිරීමට වීසා බලපත්‍රයක් ඕනේ" කිව්වා. "බස්නාහිර පළාත් සභාවේ ඉඳලා කවුරුහරි වයඹ පළාත් සභාවට යනවා නම් වීසා බලපත්‍රයක් ඕනේ" කිව්වා. එහෙමයි කට්ටියව දැනුවත් කරේ එදා මේ දරුවන්ව.

එදා ජනතා විමුක්ති පෙරමුණ ඝාතන 6,661ක් කළා

මේ අනුව මේ ප්‍රචණ්ඩත්වයේදී, මම පෙන්නන්න ඕනේ මේක කොච්චර අමාරුවෙන් ද මේ පළාත් සභා ඇත්තටම එදා රජයට මේක ක්‍රියාත්මක කරන්න වුණේ කියලා. මේ සඳහා, මේ ක්‍රියාවලියේදී ජනතා විමුක්ති පෙරමුණ ඝාතන 6,661ක් කළා, මේ රටේ මිනිස්සුන්ව මැරුවා. කවුද මේ මැරුවේ? එක්සත් ජාතික පක්ෂයේ විතරක් 1,783ක් මැරුවා. එක්සත් ජාතික පක්ෂයේ අන්තිමට ඉතුරු වුණේ මේ තරම් විශාල ප්‍රමාණයක් නැතිවෙලා තමයි එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රබලව ලංකාවේ හිටපු විශාලම දේශපාලන පක්ෂය, 1,783ක් මේකට ඝාතනයට ලක්වුණා. මම මේ කියන්නේ සංඛ්‍යාලේඛන. මේ තියෙන්නේ කොම්රේඩ් ලයනල් කියන, ධර්මන් වික්‍රමරත්න. ඔබතුමාලා දන්නවා මේ මාධ්‍යවේදියා එදා හිටියේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දීලා, මොහුත් අත්අඩංගුවට පත්වුණා. නැතුව ජේ.වී.පී (JVP) විරෝධියෙක් නොවෙයි. මේ සියලුම සංඛ්‍යාලේඛන අරගෙන, ඒකෙදි රජයේ සේවකයෝ 485 දෙනෙක්ව මැරුවා. පොලිස් නිලධාරීන් 357ක් මැරුවා. හමුදාවේ අය, හමුදා නිලධාරීන් 15 දෙනෙක් මැරුවා, හමුදා සෙබළුන් 202ක් මැරුවා. එතකොට පොලිස් පවුල්වල මිනිස්සු, තමන්ගේ දරුවා හරි කවුරුහරි ඉන්නවායි කියලා 92 ක් මැරුවා. හමුදාවේ පවුල්වල කට්ටිය 70ක් මැරුවා. එතකොට සරසවිය හා පාසල් සිසුන් මැරුවා 187 දෙනෙක්ව. මෙන්න එදා තිබුණු තත්ත්වය. විදුහල්පතිවරු 52යි. භික්ෂූන් වහන්සේලා 41 නමක් මැරුවා. වැල්ලෙතොට පඤ්ඤාදස්සි හාමුදුරුවෝ කියන්නේ මුළු දකුණටම හිටපු ශ්‍රේෂ්ඨතම නායක හාමුදුරුවෝ, වැල්ලේතොට පඤ්ඤාදස්සි හාමුදුරුවන්වත් මැරුවා. අපිට පුදුම හිතුණා ඒ වගේ හාමුදුරුවෝ කෙනෙක්ව ඝාතනයට පත් කරන්න පුළුවන් වුණ එක ගැන. එතකොට කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ කියන්නේ එදා හිටපු හොඳම ධර්ම දේශකයන් වහන්සේ. ඒ කියන්නේ කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ බෞද්ධ ධර්මය ඉතාමත්ම සරල අන්දමින් රටේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දුන්න, උන්වහන්සේව මැරුවා. පෝද්දරමුල්ලේ පේමාලෝක කියන්නේ අපේ කළුතර දිස්ත්‍රික්කයේ හිටපු තමන්ගේ දන්වේල ගිහිල්ලා දුප්පත් ගෙවල්වලට කන්න දුන්න හාමුදුරුවෝ, උන්වහන්සේ ඇතුළු 41ක් ඝාතනය කලා භික්ෂූන් වහන්සේලා.

වෘත්තීය සමිති නායකයෝ 27ක් ඝාතනය කරා. එල්. ඩබ්ලිව්. පණ්ඩිත, මුළු ජීවිත කාලයම වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉඳලා සටන් කරලා, පැය 8 සේවා කාලය මැයි දිනය ජයග්‍රහණය කරගත්ත ඒ ඒ නායකයාව ඇතුළු 27 දෙනෙක්ව ඝාතනය කරා.

මාධ්‍යවේදීන් සහ කලාකරුවන් නවදෙනෙක්ව ඝාතනය කරා. විජය කුමාරතුංග සහෝදරයා, එතකොට සාගරිකා ගෝමස්ලා ඇතුළු මේ නවදෙනෙක්ව ඝාතනය කළා. නීතිඥයෝ 7 යි. මහාචාර්යවරු 2 ක් ඝාතනය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර. ලංකාවට IT තාක්ෂණය ඉස්සෙල්ලම දරුවන්ට හඳුන්වලා දුන්න, විදේශ ආධාර ලබාගෙන ඇවිල්ලා ඒ හඳුන්වලා දුන්න මහා ප්‍රාඥයාව ඝාතනය කළා. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පටුවතවිතානවත් ඝාතනය කළා.

කතෝලික පූජකවරු 2 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 200යි. මහජන පක්ෂයේ අපේ 141ක් ඝාතනය කරා. කොමියුනිස්ට් පක්ෂයේ 43යි. නව සමසමාජ පක්ෂයේ 24යි. ලංකා සමසමාජ පක්ෂයේ 22 යි. ජනතා සංගමය, ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ලට සහභාගී වුණු කෑගල්ලේ නායකත්වය දුන්න පැට්‍රික් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් තිබුණ ජනතා සංගමයේ 19 දෙනෙක්ව මැරුවා. 71 කැරැල්ලේ JVP එකට නායකත්වය දුන්න හත්දෙනෙක්ව මැරුවා, ඒ කට්ටිය මේවට විරුද්ධ හින්දා.

එතකොට විප්ලවකාරී කොමියුනිස්ට් සංගමය (කම්කරු මාවතේ) ඒකේ 3 ක් මැරුවා. ජනතා සමාජවාදී (ගුණසේන මහානාමගේ) 5 ක්ව මැරුවා. සමාජවාදී ජනතා ව්‍යාපාරය ඒගොල්ලන්ගේ 1 ක් මැරුවා. ඒ වගේම වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගුරුවරු ඇතුළු 2,855ක් පුරවැසියන් ඝාතනය කරා.

ශ්‍රී දළදා මාලිගාවට ඉස්සෙල්ලම ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණ

මම දැන් පෙන්නනවා තමුන්නාන්සේලාට ඒ ඝාතන නිකන් නෙවෙයි. මේ තියෙන්නේ සයිමන් නවගත්තේගම මහත්මයා, මේ රටේ හිටපු ප්‍රවීණම මාධ්‍යවේදියෙක්, එදා 'ඇත්ත' පත්තරේ කතුවරයා වශයෙන් හිටපු කාලයක්. සයිමන් නවගත්තේගම සහ 'සුබ සහ යස' කියන ලංකාවේ ඉතාමත් ජනප්‍රිය නාට්‍යය බිහි කරපු සයිමන් නවගත්තේගමට එව්වා මරණ නිවේදනය. මේ තියෙන්නේ.

ඒකේ තියෙන්නේ "සයිමන් නවගත්තේගම දේශද්‍රෝහියා වෙත, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අවසාන නිවේදනය". මේකේ තියෙන්නේ අන්තිමට, "මේ අනුව අපගේ අවසාන නියෝගය මෙයයි" කියලා ගහනවා එයාට මේ කියන එකේ. කවුද ලියන්නේ? "දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දඬුවම් දීමේ ශාඛාව". එහෙම වෙනම ශාඛාවක් තිබුණා දඬුවම් දෙන්න. හරි, මම පෙන්නන්න ඕනේ ඒ වෙලාවේ මේ තියෙන්නේ ඇත්තට ම නියෝගය. මොනාද මැරුවට පස්සේ මරණය කරන්නේ කොහොමද කියලා. මේවා අද කෝටි ගණනකට අමතක වෙලා මේ මුළු ජාතියක් වශයෙන්. මරණ මළසිරුරකට ගෞරව කරන්නේ කොහොමද? කොහොමද කරන්නේ? "දේශප්‍රේමී ෆ්‍රැන්සිස්ගේ මෘත ශරීරය භාරගත් සියලු දෙනා වෙතටයි". ඒ කියන්නේ අපේ කළුතර මේ සහෝදරයා. "මෘත ශරීරය දණින් ඉහළට එසවීම තහනම්. ආගමික කටයුතු කිරීම හා හේවිසි ගැසීම තහනම්". මේ ලංකාවේ සංස්කෘතිය තමයි මේ මේ නවත්වන්නේ. "විසි දෙනෙකුට වඩා සහභාගී වීම තහනම්". මැතිණිගෙ කාලෙත් තිබුණා "150කට වඩා තහනම්" කියලා මඟුල් ගෙවල්වලට සහභාගී වෙන්න. මෙතන විසි දෙනෙකුට වඩා තහනම්. "සොහොන් කොත් බැඳීම තහනම්". මෙහෙම ලියාගෙන ගිහිල්ලා අන්තිමට කියනවා, "මව්බිම නැත්නම් මරණය අපි දිනන්නෙමු". මෙයට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, කරුණාරත්න බණ්ඩාර සන්නද්ධ බලකාය, අණදෙන මූලස්ථානය, කළුතර. ඒ කළුතර මැරුවේ එයාගේ නම කියලා තමයි.

මෙන්න මේ වගේ ඝාතන සංස්කෘතියක් ඇති කරලා, ඊට පස්සේ මේ රටේ මොන තරම් විශාල විනාශයක් කරාද? ශ්‍රී දළදා මාලිගාවට ඉස්සෙල්ලම ගැහුවේ එල්.ටී.ටී.ඊ (LTTE) එක නෙවෙයි, ජනතා විමුක්ති පෙරමුණ. 1989 පෙබරවාරි 8 වෙනිදා ශ්‍රී දළදා මාලිගාවට ප්‍රහාර කළා.

උතුරු සහ දකුණේ කැරලි නිසා ලංකාවට සිදු වූ පාඩුව ඩොලර් බිලියන 200 යි

එතකොට හමුදා කඳවුරු, පොලිසිවලට, 34කට ප්‍රහාර දුන්නා. බිම් බෝම්බ, 200කට ආසන්න සංඛ්‍යාවක් දම්මා. ඉස්සෙල්ලම බිම් බෝම්බ තිබුණේ එල්.ටී.ටී.ඊ එකට නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණට. හමුදා සෙබළුන් ඇතුළු විශාල හමුදා, පොලිස් නිලධාරීන් ඝාතනය කළා මේ බිම් බෝම්බවලින්.

රාජ්‍ය දේපල ගත්තොත්, බැංකු මංකොල්ල 62ක් කළා. දේපල මංකොල්ල 1,000කට වැඩි. ලංගම බස්, ගිනි තියපු බස්වල අලාභය මිලියන 280යි. පුද්ගලික බස්වල අලාභය මිලියන ගණනක්. දුම්රියවල අලාභය මිලියන 240යි. රජයේ වාහන සහ ගොඩනැඟිලි මිලියන 960ක අලාභයක්. ටෙලිෆෝන් exchangers මිලියන 200යි. විදුලි ට්‍රාන්ස්ෆෝමර් මිලියන 250යි. තේ ෆැක්ටරිවල අලාභය මිලියන 40යි. එතකොට කෘෂිකාර්මික මධ්‍යස්ථාන මිලියන 200යි. පතල්වලට ගහලා මිලියන 620ක් පාඩු කරා. එතකොට පරිපාලන ආයතන මිලියන 160යි. සේවා ආයතන මිලියන 50යි.

දැන් මේවා කරපු, මේ තියෙන්නේ, එදා මේ පළාත් සභාවලට විරුද්ධව සටන් නායකයෙක්. ලයනල් කොම්රේඩ් කියන්නේ, එයා ඝාතන 41ක් කළා. විජය කුමාරතුංග, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඇතුළු 41ක්. ඔහු මේ ඔහුගේ අන්තිමට සී.අයි.ඩී (CID) එකට අවසානයේ ප්‍රකාශය ලියලා 'ධර්මන් වික්‍රමරත්න' පොතේ තියෙනවා. අන්තිමට ඔහු කියන්නේ මොකක්ද?

"මා මෙම මිනීමැරුම් සහ මංකොල්ලකෑම් කළේ මගේ පෞද්ගලික ප්‍රයෝජනයට නොවේ. මාගේ සංවිධානය විසින් මට දෙන ලද උපදෙස් අනුවය. මාගේ සංවිධානයේ නායකයා රෝහණ විජේවීරය. මාගේ සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි. මා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට බැඳී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වැඩ කළේ හොඳක් වේයයි කියා සිතාගෙනය."

මෙන්න මේ විදිහට තමයි එදා තත්ත්වය. අර ඉන්දියාවේ ඉන්නවා හිටපු විදේශ ඇමති ශිව්ශංකර් මැතිතුමා. එතුමා ඉන්දියාවේ ඉන්න හොඳ ශ්‍රේෂ්ඨ විද්වතෙක් විදිහට සලකන්නේ. එතුමා (Watch) කියලා පොතක් ලිව්වා. ඒකේ කියනවා, "මේ කැරැල්ල නිසා, මේ උතුරු සහ දකුණේ මේගොල්ලන් ගේ කැරලි හින්දා, ලංකාවට සිදු වූ පාඩුව ඩොලර් බිලියන 200 යි". මේ පාඩුව නොසිදු වුණා නම්, "මේ ලංකාවේ අද කිසිම ප්‍රශ්නයක් නැහැ" කියා. එතකොට 76 වසරක සාපය අපිද? ඒගොල්ලන්ද? ශිව්ශංකර් මෙනන් කියනවා, ලංකාවට කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ අද ආර්ථික ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ, මේ විනාශය නොකළා නම්.

ජවිපෙ එදා LTTE සංවිධානයට සහයෝගය දුන්නා

මෙන්න මෙවැනි පරිසරයක තමයි පළාත් සභා පිහිටෙව්වේ. මතක තියාගන්න, නොමිනේෂන් (Nominations) දෙන්න බැරි තත්ත්වයක් තිබුණේ. මට මතකයි මම පොළොන්නරුවට යනකොට මට අනුරාධපුරයේදී කිව්වා, අනුරාධපුරයෙන් එහාට යන්න එපා රාජිත සහෝදරයා කියලා. නමුත් මම ගෙනිච්චා මගේ ලයිස්තුව කොහොමහරි දාන්න ඕන හින්දා. මම මොණරාගලට යනකොට මම දැක්කා එදාම දවසේ හෙලිකොප්ටරයෙන් ඇවිල්ලා බැස්සා රන්ජන් විජේරත්න ඇමතිතුමා. මිනිහෙක් නැහැ. පළාත් සභාවට අපි බොහොම අමාරුවෙන් මිනිස්සු ටිකක් එක්කාසු කරගෙන, අපි පළාත් සභා සටන් කරා. අපිත් එක්සත් ජාතික පක්ෂයත් කරට කර, අපි මොණරාගල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයට අපි පරාද වුණේ ඡන්ද 2,000 ගාණකින්. අපි හැම තැනකම මේක ගෙනිච්චා. එදා මෙදා තුර එක්සත් ජාතික පක්ෂයත් වමේ ව්‍යාපාරයත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපි එදා ඉඳලම ප්‍රතිපත්තිමය වශයෙන් අපි හිටියා. අපේ ආර්ථික ප්‍රතිපත්තියද, සමාජ ප්‍රතිපත්තියද අපි එකට හිටියා. අපි සමාජවාදයෙන් එළියට එනකොට විවෘත ආර්ථිකයට, ලෝකය පිළිගන්නකොට තමයි අපි විවෘත ආර්ථිකය පිළිඅරගෙන ආවේ, ඒක ලෝක ආර්ථිකය නිසා.

නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය කොහොමද? 1971දී කිව්වා, ඒගොල්ලන්ගේ ගිනි පොකුර ප්‍රකාශනයෙන් කිව්වා, "ඊළාමයක් ඉල්ලීමට, උතුරු නැගෙනහිර අයට එක ඊළාමයද, ඊළාම් දෙකද ඉල්ලීමේ අයිතිය තියෙන්නේ ඒගොල්ලන්ට, ඒ පිළිබඳව දකුණේ ඉන්න සිංහල ජනතාවට අයිතියක් නැහැ" කියලයි කිව්වේ එදා.

1985 ජාතික සම්මේලනයේ, කැරැල්ලට පෙර, ඔවුන් කිව්වේ මොකක්ද? "සිංහලයින්ගේ දකුණේ ජාතිවාදය, පීඩකයින්ගේ ජාතිවාදය නිසා එය ප්‍රතිගාමී වෙයි. උතුරේ ජාතිවාදය, පීඩිතයින්ගේ ජාතිවාදය නිසා එය ප්‍රගතිශීලී වෙයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ රතු කොඩි, රතු ධජ පතාක ඉහළින් ඔසවා උතුරේ විමුක්ති අරගලයට සහයෝගය දෙනවා" ලැයිස්තුවෙන්. මෙන්න ජාතික සම්මේලනයේ යෝජනා. මේ 1985 දි.

බලයට කෑදර ජවිපෙ ඊළමට විසඳුම කියලා පොතක් ලියලා අංශක 180කින් හැරුණා

එතකොට 1989 මොකද? ඊළමට විසඳුම කියලා පොතක් ලියලා අංශක 180කින් හැරුණා. අරවා ඔක්කොම අමතක කරලා, ස්වයංතීරණ අයිති ඔක්කොම අමතක කරලා හැරුණා. මොකටද? බලය සඳහා. අපි  වෙනස් කළේ පක්ෂ, ඒගොල්ලෝ වෙනස් කළේ ප්‍රතිපත්ති, මතක තියාගන්න. ඒ ප්‍රතිපත්ති කරලා 1989 ඒ පැත්තට හදලා මෙච්චර මිනී මරලා, පහුගිය ඡන්දෙට උතුරේ නැගෙනහිර ඡන්ද ගන්න ගිහිල්ලා, මේ සුමතිරන් මැතිතුමාලා දීර්ඝකාලීනව දුක් විඳලා සටන් කරපු මිනිස්සු ගාවට ගිහිල්ලා කිව්වා, "අපි ඕගොල්ලන්ට ෆෙඩරල් (Federal) දක්වා යන බලයක් අපි ලබා දෙනවා" කියලා තමයි ඔවුන්ව පරාජය කරලා ඒ අවස්ථාවාදී විදිහට පැමිණියා. අද පළාත් සභා දෙන්න නැති තත්ත්වයකට තියෙනවා. මෙන්න මේකයි අද තියෙන්නේ.

ඒ නිසා මම කියන්නේ, ඇත්තටම මේ පළාත් සභාවල ප්‍රශ්නයක් තියෙනවා නම් පිහිටුවීම සඳහා, එතකොට මේ ටිල්වින් කියනවා එක පැත්තකින්, ටිල්වින් සහෝදරයා කියනවා, "පළාත් සභා මේ අවුරුද්දේ දෙන්න බැහැ" කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ යථාර්ථය. අනික ටිල්වින් සහෝදරයා එදත් හිටියේ මේකට "දෙන්න බැහැ" කියන මතයේ.

අපේ වෛද්‍ය නිහාල් අබේසිංහ, අපේ මිත්‍රයා කියනවා, "නැහැ, දෙන්න පුළුවන්" කියලා. මේ කරන්නේ මොකද, ඒ පක්ෂය ඇතුළෙත් මතයක් නැහැ, මොකද මේ කියන්නේ, "මේක නොතියා ඉන්න". මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මේක තියෙන එක. මේක තියන්න ඔක්කොම කාරක සභා ඕනේ නැහැ, හරි මේ තියෙන එක නරකයි කියමුකෝ, ඉස්සෙල්ලා ඒක ගේන්න, එන සුමානයේ පාර්ලිමේන්තුවට ගෙනැල්ලා මේක ඉදිරිපත් කරලා, තුනෙන් දෙකක් බලය තියෙනවා, තුනෙන් දෙකක අත් උස්සනවා. මම හිතන්නේ අපේ සියලුම විපක්ෂය කට්ටියත් අත උස්සයි. ඒකමතිකව තීන්දු කරනවා පැරණි ක්‍රමයට පළාත් සභා තියෙනවා කියලා. ඕන නම් සංශෝධනයක් ගේනවා ඒකේ කාන්තාවන්ගේ අයිතිය සඳහා.

පළාත් සභාව තියන්න කියල අපි අභියෝග කරනවා

මේවා ගැන ඔච්චර කතා කර කර, 'පැෆරල්' එකේ රැස්වීම්වලට සහභාගී වෙලා විතරක් නෙවෙයි තියෙන්නේ, පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ කාර්යභාරය කරගන්න. තියන්න පළාත් සභාව! අපි අභියෝග කරනවා පළාත් සභාව තියන්න කියලා ආණ්ඩුවට. පළාත් සභා තිබ්බොත් අපි විපක්ෂයෙන් ඒකාබද්ධ ලැයිස්තුවක් ගේනවා. ඒ ලැයිස්තුවට එන්නේ නැත්නම් ඔවුන් මේ රටේ ද්‍රෝහීන් බවට පත්වෙනවා.

අපිට සන්ධාන, අරවා මේවා ඕනේ නැහැ. ඒවා ගහන්න ඕනේ නැහැ, එක පොදු ලැයිස්තුවක්. අර සමුපකාරයට අපි ඉදිරිපත් වුණා වගේ, පළවෙනි සමුපකාරය අපි ඉදිරිපත් වුණේ බේරුවලින්, අපි ජයග්‍රහණය කරලා පෙන්නුවා. සමුපකාර ඡන්දෙට වගේ එක පොදු ලැයිස්තුවක් ගත්තා, අපි සටන් කරා. උතුරෙත් ඒක කරන්න හැකියි උතුරු නැගෙනහිරත් මිත්‍රවරුන්ට. ඒ නිසා අපි කියනවා බොරු කරන්නේ නැතුව, මේ ලෙයින්, දහඩියෙන්, කඳුළෙන් සහ ජීවිතවලින් පරිත්‍යාග කරලා මේ රටේ බිහි කරපු, ජාතික ප්‍රශ්නයට විසඳුමක් වන මේ පළාත් සභා මැතිවරණය වහාම තියන්න කියලා අපි ඉල්ලා සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න