ආදායම් බදු නිලධාරීන් 600ක් සම්බන්ධයෙන් බුද්ධි වාර්තාවක් !

ආදායම් බදු නිලධාරීන් 600ක් සම්බන්ධයෙන් බුද්ධි වාර්තාවක් !

කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

රජයට බාරදී ඇති විශේෂ බුද්ධි අංශ වාර්තාවක් මඟින් මෙම කරුණු අනාවරණයවී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව මෙම වංචනික නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ලබා දෙන ලෙස රජය එම බුද්ධි අංශයට දැනටමත් දැනුම්දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව අයකර ගත හැකි රුපියල් කෝටි දස දහසකට වැඩි බදු මුදලක් ඒවායේ විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් අහිමි වන බව විශේෂ අධ්‍යයනයකින් රජයට කරුණු අනාවරණයවී ඇත.

මේ තත්වය වැළැක්වීම සඳහා ආදායම් කළමනාකරණයට විධිමත් ආයතනයක් පිහිටුවීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

අයකර ගත හැකි බදු ආදායම් විශාල වශයෙන් නිලධාරීන්ගේ වැරදි ක්‍රියා නිසා අහිමි වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන ඒ සම්බන්ධයෙන් එහිදී පුළුල්ව කරුණු පැහැදිලි කර තිබිණ.

විවිධ වංචනික ක්‍රියා නිසා අහිමි වන මෙම ආදායම යළි ලබා ගැනීමට කටයුතු කළහොත් රටේ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකින් විසඳිය හැකි බව මන්ත්‍රීවරුන් රැසක් මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු පෙන්වාදී ඇත.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර වෛද්‍යවරුන්, නීතිඥයන් ,උපකාර පන්ති ගුරුවරුන් මත්පැන් ශාලා හිමිකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඇතුළු විශේෂ ආදායම් උපයන පන්දහසකට වැඩි පිරිසක් ආදායම් බදු ගෙවීම මග හැර සිටින බවද රජයට කරුණු වාර්තාවී ඇත.

මෙම පුද්ගලයන්ගෙන් බදු මුදල් නිසි ලෙස අයකර ගැනීම සම්බන්ධයෙන්ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

- lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න