සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත: පාලන ව්‍යුහයක් !

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත: පාලන ව්‍යුහයක් !

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව සඳහන් කළේය.

ජාතික සභාව ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව පෙන්වා දුන් ඒ මහතා සියලු පක්ෂවල නියෝජනය සහ සන්ධාන තුළ ඇති අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වල සම්පූර්ණ නියෝජනයක් ඒ සඳහා අවශ්‍ය බව පැවසීය.

කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන් හාසමාන බලයක් සහ නියෝජනයක් ලබාදීමටත්, අවශ්‍ය අවස්ථාවල ඔවුන් කැබිනට් සාකච්ඡා සඳහා සහභාගීකර ගැනීමේ වැදගත්කමත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

කමිටු ක්‍රමය නියෝජනය කරනවාද, ඒසේ නැති නම් ආණ්ඩුවට එක්වනවාද යන්න ඒ ඒ පක්ෂ සාකච්ඡා කොට තමන් වෙත දැනුම් දෙන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න ඇතුළු පිරිසක් මේ සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න