Language Switcher

V2025

WhatsApp: Group Chatsවලින් රහසිගතව ඉවත්වෙන හැටි !

WhatsApp සඳහා නව පුද්ගලිකත්ව විශේෂාංගයක් Meta විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව රහසිගතව (නිහඬව) Group Chats වෙතින් ඉවත් වීමටත්, තමා Online දැයි බැලිය හැක්කේ කවුරුන්ද යන්න පාලනය කිරීමටත්, එක වරක් පමණක් බැලිය හැකි පණිවිඩවල Screenshots ගැනීම වැළැක්වීමටත් හැකි නව විශේෂාංග WhatsApp වෙත ලැබෙනු ඇත.

Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පැවසුවේ මෙමඟින් WhatsApp පණිවිඩ ද "මුහුණට මුහුණ හමුවී කරන සංවාද තරම්ම ආරක්ෂිත හා පෞද්ගලික" වනු ඇති බවයි.

එක්සත් රාජධානියේ ආරම්භ වන ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරයකදී ඒවා ඉස්මතු කෙරෙමින් මෙම මාසය තුළ ක්‍රමයෙන් විශේෂාංග පරිශීලකයන් වෙත ලැබීමට නියමිතය.

srtgdrtyh

රහසිගතව(නිහඬව) ඉවත් වෙන්න

දැනට WhatsApp Group chat එකකින් යම් කෙනෙකු ඉවත් වීමේදී හෝ ඉවත් කිරීමේදී එහි සිටින සියලුම සාමාජිකයින්ට එම පුදගලයා ඉවත් වූ බව හෝ ඉවත් කරන ලද බව දන්වනු ලැබේ.

පෞද්ගලික Group Chat එකකදී මෙය අක්‍රීය කළ හැකි ක්‍රම තිබුණ ද රහසිගතව (නිහඬව) ඉවත් වී යාමේ ක්‍රමයක් නැත. මේ නිසා "exit group" විධානයෙන් අදාල Group Chat එකෙන් ඉවත් වීම අපහසුතාවක් දනවන්නක්, ලැජ්ජාවක් ඇතිකරන්නක් හෝ යම් ගැටුමකට මුල පිරීමක් විය හැක.

නව විශේෂාංග සමඟින්, Group Chat එකෙහි සිටින අනෙකුත් පරිශීලකයින්ට දැනුම් නොදී, කණ්ඩායම් පරිපාලකයින්ට (Group Admin) පමණක් දන්වමින් පරිශීලකයින්ට එයින් පිටව යාමට හැකි වනු ඇත.

නිෂ්පාදන ප්‍රධානී ඒමි වෝරා පැවසුවේ "මිනිසුන්ට තමන්ගේ Chats (සංවාද) සම්බන්ධයෙන් වැඩි පාලනයක් සහ පෞද්ගලිකත්වයක් ළඟා කර ගැනීමට බලගැන්වීම් කරන නිෂ්පාදන විශේෂාංග ලබා දීම" කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවයි.

"පෞද්ගලික සංවාද සඳහා වඩාත්ම ආරක්ෂිත ස්ථානය WhatsApp බව අපි විශ්වාස කරනවා," ඇය පැවසුවාය.

"මේ පරිමාණයේ වෙනත් කිසිදු ගෝලීය පණිවිඩ සේවාවක් ඔවුන්ගේ පරිශීලකයින්ගේ පණිවිඩ, මාධ්‍ය, හඬ පණිවිඩ, වීඩියෝ ඇමතුම් සහ Chat back-ups සඳහා මේ තරම් ආරක්ෂාවක් සපයන්නේ නැහැ."

නව යාවත්කාලීන කිරීම සමඟ පරිශීලකයන්ට තමා Online සිටින බව පෙනෙන්නේ කාටද යන්න පාලනයට හෝ සම්පූර්ණයෙන්ම එය කිසිවෙකුට නොපෙනෙන ලෙස සකස් කිරීමටත් අවස්ථාව ලැබේ. එය මෙතෙක් පැවතියේ "Last seen" සැකසුම සඳහා පමණි.

ඇලන් ටියුරින් ආයතනයේ පර්යේෂණ සහකරුවෙකු වන ජැනිස් වොං බීබීසී පුවත් සේවයට පැවසුවේ, "පරිශීලකයින්ට වැඩි පාලනයක් ලබා දීම සැමවිටම සතුටක්. පරිශීලකයින්ට එයට කැමතියි වගේම පරිශීලකයින් වැඩි පාලනයක් ලැබිය යුතු යි."

නමුත් පරිශීලකයින්ව නව විශේෂාංග භාවිතා කිරීමට පොළඹවන්නේ නැත්නම් හෝ ඇප් එක තුළ ඒවා ඇති ස්ථාන පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් නොකළහොත් ඒවායේ වාසිය සීමා සහිත විය හැකි බව ඇය සඳහන් කළාය.

"ඒක default ලෙසම ලැබෙන්නේ නැත්නම් හෝ පරිශීලකයන්ට සැකසුම් නැවත පරීක්ෂා කරන්නැයි ඉල්ලා සිටින්නේ නැත්නම් ඒවා දෙන එකේ තේරුමක් නැහැ. මොකද, එහෙම එකක් කරන පුළුවන් බව එතකොට පරිශීලකයන් දන්නේ නැහැනේ," ඇය කියයි.

 126247473 96cf7cfa 6477 4b1f bc71 72c3ef44f865.png

Family Centre හරහා දෙමව්පියන්ට තම දරුවා යහළුවන් සේ එකතු කරගෙන ඇත්තේ කවුද, කතා කරන්නේ කාටද යන්න දැකිය හැකි නමුත් කතා කරන්නේ මොනවාද යන්න දැකිය නොහැක.

Snapchat වෙත ළමා ආරක්ෂාව

අඟහරුවාදා (ඊයේ), Snap විසින්ද Snapchat වෙත ක්ෂණික ඡායාරූප බෙදාගැනීම් සඳහා නව විශේෂාංග ඇතුලු තවත් යාවත්කාලීන ලැබෙන බව නිවේදනය කළේය.

සමාගම විසින් Family Centre විශේෂාංගයක් දියත් කර ඇති අතර, එමඟින් තම දරුවන්ගේ ක්‍රියාවන් පිළිබඳව දෙමාපියන්ට අධීක්‍ෂණය කිරීමට ඉඩ ලැබෙන නිසා ළමා ආරක්ෂණ පහසුකම් බලාත්මක වේ.

කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක වන්නේ දෙමාපියන් සහ Snapchat පරිශීලකන් යන දෙපාර්ශවයම මෙම අධීක්ෂණය සඳහා එකඟතාව පළ කළහොත් පමණි.

Family Centre හරහා දෙමව්පියන්ට තම දරුවා යහළුවන් සේ එකතු කරගෙන ඇත්තේ කවුද, කතා කරන්නේ කාටද යන්න දැකිය හැකි නමුත් කතා කරන්නේ මොනවාද යන්න දැකිය නොහැක.

Snapchat හි ආරක්ෂාව පිළිබඳ ගෝලීය ප්‍රධානී ජැකලීන් බෝෂර් පැවසුවේ Family Centre මඟින් දෙමාපියන්ට "ඔවුන්ගේ යොවුන් වියේ දරුවන්ගේ අන්තර්ජාල ජීවිතයට පිවිසුමක්" සපයන බවයි.

"අපි දන්නවා දෙමව්පියන්ට තමන්ගේ තරුණ දරුවන්ගේ ඔන්ලයින් ජීවිතය කොතරම් වැදගත් ද කියලා" ඇය පවසයි. "අපි හිතනවා මේ විශේෂාංගවලින් තරුණ දරුවන් මෙන්ම දෙපාපියන් දෙගොල්ලොම ප්‍රතිලාභ ලබමින් අන්තර්ජාල ආරාක්ෂාවට සහ යහපැවැත්මට ඉඩක් ලැබේවි කියලා."

ඇප් එක තුළ ඇති මෙම Family Centre එක හරහා දෙමව්පියන්ට තම දරුවා සමඟ අනවශ්‍ය ලෙස සම්බන්ධ වන්නන් වාර්තා කිරීමට ද හැකියාව තිබේ.

එළඹෙන සරත් සෘතුවේ සිට, යොවුන් පරිශීලකයින්ට ද ඕනෑම සැක සහිත ගිණුමක් හෝ අන්තර්ගතයක් පිළිබඳව තම දෙමාපියන්ට දැනුම් දීමට ද හැකි වනු ඇත.

BBC සේවය