Language Switcher

V2025

මහින්ද - බැසිල් විදෙස් ගමන් තහනම දිගටම : ගෝඨාභයටත් බඩු !

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත .

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (27) යලි සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත .

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් පෞද්ගලික මට්ටමින් නම් කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගෝස්තු මස 01 වනදා මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි යවන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර තිබේ.

එම නොතීසි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසන් වශයෙන් පදිංචිව සිටි ලිපිනය වෙත යොමු කරන ලෙසයි අධිකරණය වැඩි දුරටත් නියෝග කර ඇති බවත් වාර්තා වෙයි.

ඊට අමතරව අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතව නොවන බවට ලබාදී තිබෙන ප්‍රතිඥාව අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත .

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවනු සලකා බැලිණ.

මෙම පෙත්සම ගොනු කළ අවස්ථාවේ දී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද එහි වග උත්තරකරුවකු ලෙස නම් කර තිබිණ .

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තනතුරින් ඉවත් වී සිටින බැවින් ඔහු මෙම පෙත්සමේ පුද්ගලිකව වග උත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිටියේය .

තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබු ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරු තිදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ද එම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර ඇත .

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සම් වල වග උත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර ලබාදී ඇති බවත් වාර්තා වෙයි .

එමෙන්ම අගෝස්තු මස 01 වනදා මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි යවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවය ට නියෝග කර ඇත .

ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට විදේශ ගතව සිටින බවට වාර්තා පලවී ඇති හෙයින් ඔහුට අදාළ නොතීසි භාරදීම සඳහා ඔහුගේ ලිපිනය සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති බවත් වාර්තා වෙයි .

මෙම පෙත්සම ගොනු කළ අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ බැවින් එම අවස්ථාවේදී ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ඉල්ලා නොසිටි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එහෙත් ඔහු මේ වනවිට ධුරයෙන් ඉවත්ව සිටින හෙයින් සුදුසු අවස්ථාවක එම විදේශ ගමන් තහනම ඉල්ලා සිටීමේ අයිතිය රදවා ගන්නා බවත් ප්‍රකාශ කර ඇත .

ඊට අමතරව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරු අධිකරණයට දන්වා සිටියේ අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින රනිල් වික්‍රමසිංහට නඩු කටයුත්තක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති හෙයින් ඔහු මෙම නඩුකරයෙන් මුදාහරිණ ලෙස ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය රනිල් වික්‍රමසිංහ මෙම පෙත්සම් වලින් නිදහස් කිරීමට නියෝග කළ බවත් වාර්තා වෙයි .

අනතුරුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 01 වනදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර සිටියා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තර කරුවන් විසින් අනුගමනය කළ අදුරදර්ශී සහ අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති හා පරිපාලනය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වූ බවයි. මේ හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඛන්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා එල්ල කර තිබේ.

වග උත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත .

ශානි ප්‍රනාන්දු