Language Switcher

V2025

මාස දෙකට රනිල් ගහපු ගේම !

අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග පාලනය කරගැනීමට නොහැකිව සෑම ක්ශේත්‍රයක්ම තුළ පෙන්නුම් කළ බිඳ වැටීම මාස දෙකක කාලයක් තුළ පාලනය කරගන්නට සමත්වූ බව දේශපාලන - ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

එහිදී විශේෂයෙන් සමාජ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීම පිණිස කෙටි කාලීන වශයෙන් ගනුලැබූ සඳහන් ප්‍රධාන පියවරයන් දෙකක් සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව ඇත.

ඊට අදාළ පැහැදිලි කිරීම මෙසේය .

රටේ සමාජ ආර්ථික ස්ථාවර භාවයට මෙන්ම ජාතික ආරක්ෂාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිව තිබූ මහජනතාවගේ ආහාර සුරක්ෂිත භාවය පිළිබඳව කටයුතු කිරීම.

2021/22 මහකන්නය 50% කින් පමණ අසාර්ථක වී ඇති අතර, දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට 2022 යල කන්නයේ වී නිෂ්පාදනය 50% කට වඩා නොවැඩි තත්ත්වය පෙන්නුම් කරයි. මෙම අසාර්ථක භාවයට මූලික හේතුව වූයේ ගොවියන්ට රසායනික පොහොර ලබාගැනීමට අවස්ථාවක් නොමැති වීමය. ඒ අනුව, 2022 වර්ෂය සඳහා රටේ වී නිෂ්පාදනය ප්‍රමාණවත් වනුයේ වසරේ මාස හතක පරිභෝජනය සඳහා පමණි. (එබැවින් සහල් ආනයනය කිරීමට ද වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක ය) මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කොට 2022 යල කන්නයේ ප්‍රමාද වී ගොවිතැන් කටයුතු කරන ගොවීන් සඳහා ද පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලදී.

ඒ යටතේ

ඉන්දියාවෙන් මෙට්ට්‍රික් ටොන් 65000ක් ලබා ගැනීමට දැනටමත් කටයුතු කොට ඇත.

ලෝක බැංකුව වෙතින් ඇමරිකන් ඩොලර් මිලියන 110ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල වෙතින් ( international fund for ඇති agricultural development IFAD) ඩොලර් මිලියන 10ක් වශයෙන් 2022/23 මහ කන්නය සඳහා පොහොර ආනයනයට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් තහවුරු කර ගැනීමට දැනටමත් කටයුතු කර ඇත.

ඉතිරි මහකන්නය සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන සම්පූර්ණ පොහොර ප්‍රමාණය තහවුරු කරගැනීම පිණිස විවිධ
මට්ටමේ සාකච්ඡා තවදුරටත් සිදු කරමින් පවතී. ඉතිරි මහකන්නය කෙසේ හෝ මුළුමනින්ම සාර්ථක කර ගත යුතුව ඇත. මහ කන්නයේ යම් අසාර්ථක භාවයක් සිදුවුවහොත් දැනටමත් විදේශ විනිමය අර්බුදයක් තිබෙන තත්වය තුළ ශ්‍රී ලංකාවේ සමස්ථ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව විශාල අභියෝගයකට මුහුණදීමට සිදුවේ. විවිධ ජාත්‍යන්තර වාර්තාවල සඳහන් වන ආකාරයට දැනටමත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දෛනිකව ආහාර ලබා ගැනීමේ විශාල ගැටලුවකට මුහුණපා ඇත. සමස්ත පොහොර ප්‍රමාණය ලබා ගැනීම ඔස්සේ.

2022/23 මහ කන්නයේ වී සහ අතිරේක ආහාර බෝග නිෂ්පාදනය තහවුරු කරගැනීමටත්.

ප්‍රධානතම අපනයන භෝගය වන තේ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්කර ගැනීමටත්.

සත්ව නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බඩ ඉරිඟු නිෂ්පාදනය තහවුරු කර ගැනීමටත්.

යන පදනම යටතේ රටේ ආහාර
සුරක්ෂිතතාවය තහවුරු කරගැනීමට හැකි වනු ඇත. එම සාධකය මත ජනගහනයෙන් විශාලතම කණ්ඩායමක ආර්ථික ගැටලු නිරවුල් කිරීමට ද ඒ ඔස්සේ සමාජ ආර්ථික ස්ථායිකරණය සඳහා කෙටි කාලීන වශයෙන් නිශ්චිත ප්‍රතිඵල ලබා දෙන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට පසුගිය මාස දෙකක කාලය තුළ කටයුතු කර ඇත.

2. ඛනිජ තෙල් බලශක්ති හා LP ගෑස් සම්පාදනය තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙළ.

පැය 2-3 අතර විදුලි කප්පාදුවකට සීමා කර ගැනීමට දැනට හැකි වී ඇත.

ඉදිරි මාස තුන හතර සඳහා LP ගෑස් අඛණ්ඩව සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇත. පැවති LP ගෑස් හිඟය මේ සතිය අග වන විට මුළුමනින්ම නිමවනු ඇත.

ඛනිජ තෙල්වල ජාත්‍යන්තර මිල ගණන් මාස ගණනාවක් තිස්සේ බැරල් එකකට ඩොලර් 50 කින් පමණ ඉහළ යාමත් සමගම අවශ්‍ය ඛනිජ තෙල් සම්පාදනය කරගැනීමට මාසිකව ඩොලර් මිලියන 550 ක අවශ්‍යතාවයක් පැවතුණි. විදේශ විනිමය සපයාගැනීමේ ගැඹුරු අර්බුදයකට රට මුහුණ දී ඇති බැවින් නිතිපතා අවශ්‍ය ප්‍රමාණයට ඩීසල් සහ පෙට්‍රල්, ප්‍රමාණයට එහා ගොස් අඩුම තරමින් දිරි මාස තුන සදහා අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනටමත් දන්වා ඇත. ඒ අනුව ඔවුන් ඉදිරි සති දෙක තුළ එම සැලසුම් ඉදිරිපත් කිරීමට නියමිතය.

ආනයනය කරන ඛනිජ තෙල් විධිමත් ක්‍රමවේදයක් යටතේ බෙදා හැරීමට අවශ්‍ය වැඩපිළිවෙළ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනටමත් සකස් කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ආර්ථික - දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ විරෝධතා මධ්‍යයේ වුවත් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ජනජීවිතය විශාල පරිමාණයේ කඩා වැටීමකින් ගලවා ගන්නට හැකිවී තිබෙන බවයි.

කෙසේ වුවත් ඉදිරියේ කිසියම් ආකාරයක දේශපාලන වෙනස්වීමක් සිදුවුවත් , අත්වෙන ප්‍රතිඵලය ඊට මැදිහත් වන සියලු පාර්ශ්ව භාරගත යුතු බවත් ඔවුන් පවසයි .