සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ (ACMLS) වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ එම සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
අනුමත සියලු ම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් (MLS) වසර කිහිපයක් බඳවා නොගැනීම හේතුවෙන් රෝහල් පද්ධතිය තුළ උද්ගතව ඇති සේවක හිඟය මෙන්ම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් වර්තමානයේ මුහුණ දෙනු ලබන වෘත්තීය ගැටලු කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් අවධාණය යොමු විය. එහි දී පවතින වෘත්තීය ගැටලු කිහිපයකට අදාළ එකඟතාවලට එළඹීම මෙන්ම වෘත්තීය අභිවෘද්ධිය අරමුණූ කරගත් තීන්දු තීරණ කිහිපයකට ද අදාළව සවිස්තර කරුණු සොයාබැලීමක් ද සිදුවිය.
දිවයින පුරා රෝහල්වල පවතින වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් ගේ හිඟයට හේතුව වසර තුනහමාරකට අධික කාලයක් තිස්සේ ඊට අදාළ බඳවා ගැනීම් සිදු නොවීම වන බැවින් උපාධිධාරීන් බඳවා ගැනීමට බලපා ඇති අධිකරණ ක්‍රියාමාර්ගය ඉදිරි කාලයේ අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන හෙයින් එය අවසන් වූ වහාම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති, දැනට අනුමත සියලු ම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට මෙහි දී තීරණය විය.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවාවට සාධාරණ නියෝජනයක්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවාව සඳහා වන සේවා ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනිම සඳහා මාස තුනක් ඇතුළත එහි මූලික කෙටුම්පත පිළියෙල කර ඉදිරිපත් කරන ලෙස අදාළ කමිටුව වෙත උපදෙස් ලබාදීමට ද මෙහි දී තීරණය කළේ ය.
රෝග නිධාන රසායනාගාර සේවාවට අදාළ තත්ත්ව පාලන පිරිවිතර පිළිබඳ කෙටුම්පත සම්බන්ධ අවසන් එකඟතාවට පැමිණීමට පෙර සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ සළකා බැලීමට ද මෙහිදී එකඟතාව පළ විය. රසායනාගාර උපදේශන කමිටුව කඩිනමින් කැඳවීම හා ඒ සඳහා දිවයිනේ ප්‍රධාන ජාතික රෝහල් ත්‍රිත්ත්වයෙහි අධිකාරී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන් පත් කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවාවට සාධාරණ නියෝජනයක් ලබා දීමට කරුණූ සළකා බැලීමට ද මෙහිදී තීරණය විය.
රෝගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක්
ඉදිරියේ දී ගනු ලැබීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග තුළ දිවයින පුරා රෝහල්වල දැනට පවතින බවට පෙන්වා දෙනු ලබන රසායනාගාර සේවාවන්ට අදාළ ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් ලැබෙනු ඇති බවත්, එමගින් රෝගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහි දී අවධාරණය කළේ ය.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවාවට බලපාන ලද මෙම සාකච්ඡාවේ දී පෙන්වා දෙන ලද ගැටලු හේතුවෙන් දැඩි නොසන්සුන්තාවයක් සිය වෘත්තිකයින් තුළ නිර්මාණය වෙමින් පැවැති බවත්, සිය වෘත්තිය ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරින් කඩිනමින් සාධනීය මැදිහත්විමක් සිදු කිරිම සහ පැවැති ගැටලු නිරාකරණයට දක්වන ලද මැදිහත්වීම පිළිබඳව සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ නිලධාරින් මෙහිදි සිය කෘතඥතාව අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට පළ කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික එච්. ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, යූ.ඒ.එස්.එච්. සිසිර කුමාර, පුහුණු අංශයේ අධ්‍යක්ෂ (Director of Training) වෛද්‍ය සමන්ත ප්‍රභාත් රණසිංහ, අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල යන අය සහ සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති සමන් ජයසේකර, උප සභාපති දිනේෂ් සිල්වා, උප ලේකම් චන්දිම ආරච්චි යන අය ඇතුළු සංගමයේ නිලධාරී පිරිසක් එක්ව සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
