Language Switcher

V2025

පාස්කු ප්‍රහාරයේ ගැටලුව විසඳීමට බ්‍රිතාන්‍ය පොලිසියේ සහය - වැ.බ. ජනාධිපති

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ ගැටලුව විසඳාලීම තම බලාපොරොත්තුව බවත්, ඒ සඳහා සියලු දෙනා එකඟ වන්නේ නම් බ්‍රිතාන්‍යය පොලිසියේ සහය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

වැඩබලන ජනාධිපතිවරයා අද (18) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ෂණ කොමිසමේ වාර්තාවන් මෙන්ම ඊට අදාළ වෙනත් වාර්තාවන් ඇති බවත් ඒ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් පැවසීය .

විදේශ විමර්ශකයින්ගේ සහය මෙන්ම මෙම ප්‍රහාරය ගැන විමර්ෂණය කළ මෙරට විමර්ශකයින්ගේ සහයද එයට ලබා ගනිමින් තවත් කල් නොයවා මෙම ගැටලුව විසඳාලීය යුතු බවද වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ය.

එමෙන්ම අද වන විට රටේ නීතිය කැඩීමේ ව්‍යාපාරයක් පවතින බවත්, අපට ඇත්තේ එයට විරුද්ධව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම බවත් ඔහු පැවසීය .

පැසිස්ට් ක්‍රමවේදයෙන් රටක නීතිය හා සාමය නැතිකරන්න ඉඩ නොදෙන බවත් සාමකාමී අරගලයට තමන් සැමවිටම පිළිගන්නා බවද වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළේය .

මේ රටේ දේශපාලන ගැටලුවක් කියා පවතින්නේ විධායක ජනාධිපති ධුරය බවත්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කිරීමෙන් පසු නැවත ඒ ගැන සාකච්ජා කිරිමට අවස්ථාව ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය .

මැයි 13 වැනිදා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බවත් මෙහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිහිපත් කර සිටියේ ය.

විශේෂ ප්‍රකාශය කරමින් වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ තමන් අගමැති ධුරයට පත්වී මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩුකරලීමට හැකි වූ බවයි.

එමෙන්ම යල කන්නයේ වගාවන් සඳහා ගොවි ජනතාවට පොහොර ලබාදීමට හැකිවූ බවත් මේවන විට මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවත් ඔහු පැවසීය .

රටේ පැවති ගෑස් හිඟයට විසඳුම් ලබාදුන් බවත් මේ වන විට අඛණ්ඩව ගෑස් සැපයීමට හැකියාව ලබාදී ඇති බව වැඩබලන ජනාධිපතිවරයා පැහැදිලි කර සිටියේ ය.

ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බවත් ඔහු සිහිපත් කර සිටියේ ය..

කෙසේ වෙතත්, ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වනදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බවයි වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය .

විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් වැඩබලන ජනාධිපතිවරයා පවසා සිටියේ ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ද මෙරට ජනතාවට ලබාදීමට පියවර ගත් බවය.