Language Switcher

V2025

විරෝධතා ප්‍රචණ්ඩ කරන්න එපා - ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

රටේ ජනතාව ඉතා අසීරුවෙන් සිටින මෙවැනි අවස්ථාවක තම දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය කරා විරෝධතා යොමු කිරීම කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි .

අර්බුදකාරී වූ අවස්ථාවේ සංසුන්ව විචක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස සියලු විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මේ කරුණු සඳහන් කර ඇත්තේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සහ විරෝධතාකරුවන්ගෙන් විවෘත ඉල්ලීමක් සහිත නිවේදනයක් නිකුත්කරමින් ය.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

මෑතක් වනතුරු ඉතා සාමකාමීව පැවති ජනතා විරෝධතා මේ වන විට එම තත්ත්වයෙන් ඔබ්බට ගොස් ප්‍රචණ්ඩකාරී වන ස්වරූපයක් ගන්නා ආකාරය අපට නිරීක්ෂණය කිරීමට හැකි විය.

රටේ ජනතාව ඉතා අසීරුවෙන් සිටින මෙවැනි අවස්ථාවක තම දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය කරා විරෝධතා යොමු කිරීම කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවේ.

මේ මගින් සිදුවිය හැකි තත්ත්වය කිසිසේත් රටට යහපත් ප්‍රතිඵල අත්කර නොදෙනු ඇත. මේ වන විටත් රටේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය වසර කිහිපයකින් පිටුපසට ගොස් ඇත වීශ්වවිද්‍යාල අධ්‍යාපනය ද එසේමය,අරගලයේ හිමිකාරීත්වය පිළිබඳ පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට විවිධ පාර්ශ්ව කරන ක්‍රියාදාමයන් මගින් තවත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකිය.

එබැවින් මෙම අර්බුදකාරී වූ අවස්ථාවේ සංසුන්ව විචක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස සියලු විරෝධතාකරුවන්ගෙන් අප ඉල්ලා සිටිමු.

එමෙන්ම සියලුම දේශපාලන පක්ෂ නායකයන් ගෙන් අප කරන ඉල්ලීම වනුයේ මෙම අසීරු අවස්ථාවේ තම පරිණතභාවය ප්‍රකාශ කරමින් බෙදීම් වලට ලක් නොවී අන්තර්වාර පාලනයක් පත්කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඔබට එම බෙදීම් තවත් මාස 6කට හෝ වසරකට පසුව පැමිණෙන මහමැතිවරණයකදී උරගා බැලිය හැකිය. මෙය එයට සුදුසු අවස්ථාව නොවේ. තවදුරටත් සටකපට දේශපාලන ක්‍රියාවලීන් මගින් බලය තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම පවතින වාතාවරනය තුල කිසිසේත් සාර්ථක නොවනු ඇත.

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගෙන රටේ ජනතාවට ආදර්ශයක් වන පරිද්දෙන් කටයුතු කිරීම දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීමයි. සියලුම දේශපාලන පක්ෂ නායකයින් දූරදර්ශීව කටයුතු කොට සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට කටයුතු කරනු ඇති බව අපේ එකම බලාපොරොත්තුවයි

නීතිඥ රසංග හරිශ්චන්ද්‍ර
ජාතික සංවිධායක
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය