ප්‍රභූන් රට පැණීම වලක්වන්න : ආගමන විගමන නිලධාරීන් තීන්දුවක් අරගෙන !

ප්‍රභූන් රට පැණීම වලක්වන්න : ආගමන විගමන නිලධාරීන් තීන්දුවක් අරගෙන !

ප්‍රභූවරුන් කිහිප දෙනකු මත්තල ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමග මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට (MRIA) අනුයුක්ත ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අද (12) සිය සේවාවලින් ඉවත් වීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මත්තල ගුවන්තොට භාවිත කරමින් හිටපු දේශපාලන ප්‍රභූවරුන් රටින් පලායාමට ඇති ඉඩකඩ වැලැක්වීමට මෙම තීරණය ගෙන ඇත.

කටුනායක ප්‍රභූ පර්‍යන්තයේ රාජකාරිවලිනුත් ආගමන විගමන නිලධාරීන් ඉවතට !

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා " සේද මාවත " ( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් අද අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ බව එහි සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල මාධ්‍ය වෙත තහවුරු කර ඇති අතර නිවේදනයක් ද නිකුත්කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර , අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත .

ගුවන් තොටුපළ මගී විරෝධය නිසා : බැසිල්ට ගෙදර යන්න බැරිවෙලා !

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ , කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් ඇතැයි වාරතා වෙයි.

මේ බව කටුනායක ගුවන් තොටුපළ රාජකාරී කළමනාකරු ද තහවුරු කර ඇත .

අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එහිදී " සේද මාවත " (Silk Route ) අසළ එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන් , බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න