Language Switcher

V2025

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි : විපක්ෂයේ දේශපාලන නායකයන් තනතුරු වෙනුවෙන් සටනේ !

කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා ම සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .

සර්වපාක්ෂික ආණ්ඩුවට ඉඩ සලසමින් මෙම තීන්දුව ගන්නා ලද බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (11) සඳහන් කළේය.

මහින්දට ජනාධිපති ආරක්ෂාවක් !

මේ අතර වාර්තා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නිල නිවසේ ආරක්ෂක විදිවිධාන තරකර ඇති බව ය.

මේ වන විට එම නිවසේ ආරක්‍ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බට පිරිස් කැදවා ඇති බවත් වාර්තා වෙයි .

ගෝටාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මහින්ද යාපා අබේවර්ධන වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමට නියමිතව ඇත.

විපක්ෂයේ රැසක් : ජනාධිපති සහ අගමැති වෙන්න සූදානම් !

මේ අතර රාජපක්ෂ හිතවාදී දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ , පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අද (11) පැවැත්වීමට නියමිත විශේෂ රැස්වීමෙන් පසු ලබන බදාදා (13) පාර්ලිමේන්තුව රැස්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බවය.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම අද (11) උදෑසන එකොළහට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

එහිදී ලබන සතියේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම ප්‍රධාන අරමුණ වෙයි.

ලබන බදාදා (13) පාර්ලිමේන්තුව රැස්වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට නියමිතය. මෙහිදී ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු මසක කාලයක් සඳහා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැතිවරයා පත්කිරීම එක් ක්‍රමයකි. එසේ නොමැති නම් මසක කාලයක් සඳහා කථානායකවරයා වැඩබලන ජනාධිපති ධුරයට පත්කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව ඇත. එසේ නොමැති නම් පාර්ලිමේන්තුව තුළින් අගමැතිවරයකු හා ආණ්ඩුවක් පත්කර ජනාධිපතිවරයාට දැනුම් දීම තවත් ක්‍රමයකි.

ඉන්පසු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්ව එම ආණ්ඩුවෙන් නම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට හැකිය.

කෙසේ වෙතත් ජනාධිපති ධුරය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, මහචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවන් වන සරත් ෆොන්සේකා හා පාඨලී චම්පික රණවකගේ නම් යෝජනා වී ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ඊයේ (10) කතාබහට ලක්වී තිබිණ. අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායකගේ නම් යෝජනා වී ඇති බවට කතා බහට ලක්විය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර ඇත්තේ මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට අගමැති ධුරය භාරදිය යුතු බවයි. එහෙත් ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය මත විපක්ෂයට යාම සුදුසු බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති සහ අගමැති ධුරවලට නම් කිරීමේ යෝජනාවකට දේශපාලන පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් ඊයේ (10) පැවැති සාකච්ඡාවකදී එකඟත්වයට පත්ව ඇත.

නුගේගොඩ ජුබලිකණුව ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරලගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. සමගි ජන බලවේගයෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මන්ත්‍රි විමල් වීරවංශ නායකත්වය ලබාදෙන දේශපාලන පක්ෂ දහයේ නියෝජිතයන්, මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයන් මීට එක්ව සිටියහ.

අදාළ නම් දෙක පාර්ලිමේන්තුවේදී යෝජනා කර බෙදීමක් ඇති නොවන පරිදි සම්මුතියකින් කටයුතු කිරීමේ මැදිහත්වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම සාකච්ඡාවට කලින් සහභාගි වන බව දැනුම් දී තිබුණත් පසුව සහභාගි වූයේ නැත.

කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු මන්ත්‍රි විමල් වීරවංශ මාධ්‍ය සඳහා ප්‍රකාශයක් ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු විරෝධය පළ කිරීම නිසා මන්‍ත්‍රිවරයා සිය වාහනයේ නැගී පිටව ගියේය.

– අරුණ