Language Switcher

V2025

අරගලයේ ඉදිරිය ගැන : සජිත්ගෙන් උපදෙස් නිකුත් වෙයි !

අරගලයේ ඉදිරි දිශානතිය සම්බන්ධයෙන් නිවේදනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත්කර ඇත .

ඊට අනුව අරගලයට මුවාවී,කිසියම් අවස්ථාවාදී සහ කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කරනු ලබන දේපල විනාශ කිරීම්,ගිනි තැබීම් සහ ජනජීවිත ව්‍යාකූල කරවන සුළු සිදුවීම් වල නිරතවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මෙකී නිවේදනය අනුව අරගලයේ මූලික කොන්දේසි ආරක්ෂා කරගන්නට නොහැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇත.

විපක්ෂ නායක නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

ප්‍රචණ්ඩත්වය හෙළා දකිමු!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකළ ගිනිතැබීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර එකී සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බව අවධාරණය කරමු.

ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ සාධාරණත්වය රජයන සමාජයක් වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව පුරවැසි අරගලයකට එක්වූ අතර එහි උදාර අරමුණු කිසිම විටක පාවා නොදෙන්නට තරම් ඔවුන් විනයගරුක හා ශිෂ්ට සම්පන්න වූ බව අප තිරව විශ්වාස කරමු.

එහෙත් එකී අරගලයට මුවාවී,කිසියම් අවස්ථාවාදී සහ කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කරනු ලබන දේපල විනාශ කිරීම්,ගිනි තැබීම් සහ ජනජීවිත ව්‍යාකූල කරවන සුළු සිදුවීම් වලට අපි කොන්දේසි විරහිතව එරෙහි වෙමු.

පසුගිය දින කිහිපය තුළ, අරගල කරුවන්, මාධ්‍යවේදීන්,සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසකට ද ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වූ අතර ඒ පිළිබඳව ද පුළුල් පරීක්ෂණ පැවැත්විය යුතු බව අපි අවධාරණය කරමු.

ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී රටක් වෙනුවෙන් මෙතෙක් කල් සුරක්ෂිතව රැකගෙන ආ පුරවැසි අරගලයට කළු පැල්ලම් එක් කිරීමට වෙර දරන පිටස්තර බලවේග පිළිබඳව අපි අවධානයෙන් සිටිමු යැයි සමස්ත සමාජයෙන් ඉල්ලා සිටිමු.

මේ එළඹ ඇත්තේ ඉතාම තීරණාත්මක මොහොතක් හෙයින් සංසුන්ව සාමකාමීව,ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් සංහිඳියාව පෙරදැරිව කටයුතු කරන්නට එක්වන්න යැයි සමස්ත පුරවැසියන්ට ගෞරවයෙන් ආරාධනා කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක