ඩො.මි. 6.7 ගෙවූ චීන පොහොර වෙනුවට අලුත් පොහොර නෑ : හැබැයි වන්දියක් ඉල්ලයි !

ඩො.මි. 6.7 ගෙවූ චීන  පොහොර වෙනුවට  අලුත් පොහොර නෑ : හැබැයි වන්දියක් ඉල්ලයි !

ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ඉරිදා ‘මව්බිම’ වාර්තා කර ඇත .

අදාළ පුවත අනුව එම සමාගමේ මෙරට නියෝජිත සමාගම හරහා ඒ බව දැනුම්දී ඇත .

මව්බිම පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදී එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම මේ පිළිබඳව දැනුම්දී ඇති අතර යම් හෙයකින් එම පොහොර තොග භාර නොගන්නේ නම්, ඒ වෙනුවෙන් වන්දියක් පවා ගෙවීමට සිදුවනු ඇතැයි අනතුරු අඟවා තිබෙන බව ද පැවසේ.

ප්‍රතික්ෂේප වූ පොහොර තොග වෙනුවට නව පොහොරක් ලබාදිය නොහැකි බව එම හමුවේදී චීන සමාගමේ මෙරට නියෝජිතයා දැනුම් දී ඇති අතර චීන සමාගම ලබා දෙන පොහොර තොගය භාර නොගෙන ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සමාගම අපකීර්තියට පත් කළා සේ සලකන බව ත් ඔවුහු පෙන්වාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය.

ඒ අයුරින් චීන සමාගම අපකීර්තියට පත් කිරීමට වන්දි ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් ගෙවීමට සිදුවනු ඇතැයි ද මෙරට නියෝජිත සමාගම දන්වා තිබෙන බව එම ජේ‍යෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දෙරට අතර පවතින මිත්‍රශීලී ගනුදෙනු සඳහා බලපෑමක් ඇති කරනු ඇතැයි ද චීන පොහොර සමාගමේ දේශීය නියෝජිත සමාගම අනතුරු අඟවා ඇතැයි ඔහු තවදුරට ත් පැවැසීය.

ප්‍රතික්ෂේපිත චීන පොහොර නැවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල ගෙවා අවසන් අතර මේ වන තුරුත් ගෙවූ මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැතැයි කෘෂි ක්ෂේත්‍රයේ විශේෂඥයෝ චෝදනා කරති.

ඒ සඳහා අධිකරණයේ පැවරුණු නඩු කටයුත්තේදී එළැඹුණු සමථකරණයට අනුව ප්‍රසිද්ධ කළ යුතු ඒකාබද්ධ නිවේදනය පවා මේ වනතෙක් නිකුත් නොකිරීම සැක සහිත බව ද ඔවුහු පෙන්වා දෙති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න