දකුණු ආසියාවේ කාර්යබහුලම සහ උපායමාර්ගික වශයෙන් වැදගත් සමුද්රීය වෙළඳ මධ්යස්ථාන අතරින් එකක් වන කොළඹ වරායේ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 17ක ආයෝජනයක් සිදු කරන බව එක්සත් ජනපදය අද (16) නිවේදනය කළේය.
ශ්රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ එක්ව ක්රියාත්මක කරන මෙම ව්යාපෘතිය මගින් ඇමරිකානු තාක්ෂණය යොදා ගනිමින් වරාය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ඩිජිටල් පද්ධති හඳුන්වා දීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇත.
මෙම ව්යාපෘතිය මඟින් ගෝලීය වෙළඳාම තුළ ශ්රී ලංකාවේ කාර්යභාරය ශක්තිමත් කරන අතරම, ඇමරිකානු ව්යාපාරවලට සහාය වීමටත්, එක්සත් ජනපදයේ සැපයුම් දාම සුරක්ෂිත කිරීමටත්, එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර වාණිජ අවස්ථා පුළුල් කිරීමටත් දායක වනු ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් පැවසුවේ “ඇමරිකානු වෙළඳාම රඳා පවතින්නේ කාර්යක්ෂම, විශ්වසනීය සහ නවීන වෙළඳාමේ අවශ්යතා සපුරාලීමට සූදානම් වරායන් මතයි,” යනුවෙනි.
"“එක්සත් ජනපදය වෙත පැමිණෙන සහ එරටින් පිටත්ව යන භාණ්ඩ රැගත් කන්ටේනර් ලක්ෂ පහකට අධික සංඛ්යාවක් වාර්ෂිකව කොළඹ වරාය හරහා ප්රවාහනය කෙරෙන අතර, ඒවා ඩොලර් බිලියන ගණනක වෙළඳාමකට දායක වේ. භාණ්ඩ ප්රවාහනය වේගවත් වී ප්රවාහන පිරිවැය අඩු වන විට, ඇමරිකානු සමාගම්වලට වෙළඳපොළ තුළ වඩාත් තරගකාරී වීමට හැකි වන අතර, ඇමරිකානු පාරිභෝගිකයින්ට ද මුදල් ඉතිරි කර ගැනීමට හැකි වේ. ඩොලර් මිලියන 17ක මෙම ආයෝජනය මඟින් අපගේ ආර්ථිකයන් රඳා පවතින සැපයුම් දාම ශක්තිමත් කිරීමටත්, ඇමරිකානු තාක්ෂණික සමාගම් සඳහා වාණිජ අවස්ථා පුළුල් කිරීමටත් සහාය ලැබෙනු ඇත.” යනුවෙන් තනාපතිවරයා පැවැසීය.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක සඳහන් කළේ “කලාපීය සමුද්රීය මධ්යස්ථානයක් ලෙස කොළඹ වරායේ අනාගතය රඳා පවතින්නේ භෞතික යටිතල පහසුකම් පුළුල් කිරීම මත පමණක් නොව, අපගේ වරාය මෙහෙයුම් ද නවීකරණය කිරීම මතයි,” යනුවෙනි.
“මෙම ව්යාපෘතිය මඟින් වෙළඳ කටයුතු පහසු කිරීමටත්, ව්යාපාරික අවස්ථා ආකර්ෂණය කර ගැනීමටත්, ජාත්යන්තර වෙළඳපොළ සමඟ ශ්රී ලංකාවට ඇති සබඳතා ශක්තිමත් කිරීමටත් සහාය ලැබෙනු ඇත. ශ්රී ලංකාවේ දිගුකාලීන ආර්ථික තරගකාරීත්වය ඉහළ නැංවීමට දායක වන මෙම ව්යාපෘතිය සඳහා එක්සත් ජනපදය ලබා දෙන සහාය අපි අගය කරමු.” යනුවෙන් අමාත්යවරයා පැවැසීය
එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක පැවැසුවේ “කලාපයේ ප්රමුඛ සමුද්රීය හා ප්රවාහන-සැපයුම් මධ්යස්ථානයක් ලෙස ශ්රී ලංකාවට තවදුරටත් සිය ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කොළඹ වරාය නවීකරණය කිරීම අත්යවශ්ය වේ,” යනුවෙනි.
.“මෙම නව ඩිජිටල් පද්ධති මඟින් වරාය මෙහෙයුම්වලට සම්බන්ධ විවිධ ආයතන සහ ව්යාපාර එකිනෙක සම්බන්ධ කිරීමටත්, අනවශ්ය ප්රමාදයන් අවම කිරීමටත්, නැව් සමාගම් සහ පාරිභෝගිකයින්ට වඩාත් විශ්වාසදායක හා කාර්යක්ෂම සේවාවන් සැපයීමටත් අපට හැකි වනු ඇත.” අනාගත වර්ධනයට සරිලන පරිදි අපගේ වරායන් සූදානම් කරන මෙම අවස්ථාවේදී, එක්සත් ජනපදය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය අපි සාදරයෙන් පිළිගනිමු.” යනුවෙන් සභාපතිවරයා පැවැසීය.
කොළඹ වරාය වාර්ෂිකව එක්සත් ජනපදය හා සම්බන්ධ ඇමරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වටිනා භාණ්ඩ හසුරුවන අතර, එය දකුණු ආසියාව ගෝලීය වෙළඳපොළ සමඟ සම්බන්ධ කරන ප්රධාන ප්රතිනැව්ගත කිරීමේ මධ්යස්ථානයක් (transshipment hub) ලෙස ද ක්රියා කරයි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
