මහ බැංකු අධිපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද (24) පැවසීය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු එහි ප්‍රධානීන්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටියහ.

මහ බැංකු අධිපතිවරයා ඉහත ඉල්ලීම කළේ එම රැස්වීමේදීය.

සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස්විය.

මේ අතර අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට දැනුම් දුන්නේය

රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාවටද කාරක සභාවේ අනුමතිය මෙහිදී ලැබිණ.

වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසද මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කළේය.

මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකි වුවත් අද එය නැවත හඳුන්වා දීමට සිදුවී ඇති බවද මහ බැංකු අධිපති පෙන්වා දුන්නේය.

වත්මන් ආර්ථික තත්වය පිළිබද පැහැදිලි කරමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකගවී ඇති බවයි.

එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැතිවීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවනවිට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය ඊයේ බවත් ඔහු පැවසීය.

එම සාකච්ඡා සාර්ථක කර ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ අයි.එම්.එෆ් ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බව පැවසූ හෙතෙම ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

මූලාශ්‍රය - lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න