Language Switcher

V2025

ජාතික සංවිධාන අරගලයේ පහරයි !

19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව විරෝධය පලකර ඇති අතර එය පොදුජන අරගලය පාවාදීමක් බව දේශපාලන විචාරකයන් පවසයි .

ජාතික සංවිධාන එකමුතුව 21 සම්මත කිරීම සහ ඒ හරහා 19 ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රතිකේෂ්ප කර නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

 අතිගරු ජනාධිපතිතුමනි,

සමාජයේ බරපතළ නොසන්සුන්තාවයක් තිබියදී සමාජ සංවාදයකට ඉඩක් ලබා නොදී හදිසි කර්තව්‍යයක් ලෙස රටේ උත්තරීතර නීතිය සංශෝධනය කිරීමේ වරද පිළිබඳව

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හදිසි කර්තව්‍යයක් ලෙස සලකා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට සූදානමක් පවතින බව අප වෙත දැන් දැනගැනීමට ලැබී ඇත. මේ වන විට 21වැනි සහ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන ලෙස පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ කෙටුම්පත් ගැසට් කර පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදීම මගින් එම කෙටුම්පත් දෙකෙන් ඕනෑම කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමේ හැකියාව ඇත. ඊට අමතරව එම කෙටුම්පත් දෙකම නොවන එහෙත් ඒවා මත පදනම් වූ නව කෙටුම්පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. මෙම අපැහැදිලිතාවයන් නිසා අදාල කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුවහොත් ජනමත විචාරණයක් නොමැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හැකියාව ද ඇත. එවැනි තත්ත්වයක් යනු බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී විකෘතියක් බව ඔබතුමා පිළිගන්නවා ඇත.

ඊට අමතරව ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි වර්තමාන දේශපාලන අර්බුදය පැන නගින්නේ ආර්ථික අර්බුදයේ මුල්කරගෙනය. ඒ නිසා ආර්ථික අර්බුදයට නිසි විසඳුම් ඉදිරිපත් කිරීමෙන් තොරව දේශපාලන අර්බුදය සමනය කිරීමේ හැකියාවක් නැත. මේ වන තුරු ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිශ්චිත යෝජනාවලියක් ආණ්ඩුව පැත්තෙන් රටට ඉදිරිපත් කර නොමැති තත්වයක් යටතේ දේශපාලන අර්බුදය විසඳීමේ නාමයෙන් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමේ උවමනාව කුමක්දැයි පැහැදිලි නැත. ඒ නිසා මහජනයා විසින් එම වුවමනාව පිළිබඳව විවිධ අර්ථකථන සැපයීම තුළ දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් ද ඇත. අද වන විට රටේ පවතින අඛණ්ඩ මහජන උද්ඝෝෂණ නිසා ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින රටේ බහුතර ජනතාව තවදුරටත් පීඩාවට සහ අසහනයට පත් වෙමින් ඇත. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම නිසා සමාජය තුළ දේශපාලන සංවාද දිරිමත් නොවන අතර ඊට එරෙහිව මානසික බාධක පැනවේ. එවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සාධාරණ මහජන සංවාදයක් ඇති කිරීමේ හැකියාවක් නොමැති බව ඔබතුමා පිළිගන්නවා ඇත. ඒ අනුව මෙම අවස්ථාවේදී හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට පටහැනි ක්‍රියාවක් බව පිළිගැනීමට සිදුවේ.

ඊට අමතරව ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය දියත්වන අපැහැදිලි ආකාරය සහ ඊට දිරිගැන්වීම් ලබා දෙන පුද්ගල චරිත මෙන්ම සංවිධාන පිළිබඳ එල්ලවන චෝදනා නිසා එම තත්ත්වය වඩා බරපතළවේ. විශේෂයෙන්ම මේ ආකාරයට හදිසි ව්‍යවස්ථා සංශෝධන ගෙන එනු ලබන්නේ පවතින ආර්ථික ආපදා තත්ත්වය නිසා සමාජයේ ඇතිවී තිබෙන “ඝෝෂාව” උපයෝගී කරගනිමින් බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය යම් සංශෝධන ඊට ඇතුල් කිරීම සඳහා බවට චෝදනා එල්ල වේ. පසුගිය කාලයේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඉන් පසුව පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සිදු කිරීමේදී පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී විශාල වශයෙන් සංශෝධන ඇතුළු කරනු ලැබීය. එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන් දැනුවත් නොකර ඉතා කලබලකාරී ලෙස සහ කූට ලෙස සංශෝධන ඇතුල් කළ බවට විද්වතුන් විසින් සාක්ෂි සහිතව කරුණු දක්වා ඇත. ඒ නිසා මේ වන විට රටේ පවතින කලබලකාරී සහ ඝෝෂාකාරී තත්ත්වය තුළ මහජනයාගේ පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ පවා අවධානයට ලක් නොවී කෙටුම්පතේ අඩංගු නොවුන බෙදුම්වාදීන්ට අවශ්‍ය වන සංශෝධන කිහිපයක් කාරක සභා අවස්ථාවේ දී කෙටුම්පතට ඇතුළු කිරීමේ ඉඩකඩ බැහැර කළ නොහැක.

එවැනි තත්වයකදී ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බැවින් කාරක සභා අවස්ථාවේ දී සිදුවිය හැකි දේ පිළිබඳ ඔබ තුමාට සහතිකයක් ලබා දිය නොහැකි බව පැහැදිලි කරුණකි. එවැනි තත්ත්වයක් තුළ විනාඩි කිහිපයකදී ව්‍යවස්ථා සංශෝධනයක් නාමයෙන් රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය අනතුරට ලක් කරන ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තුව තුළ සිදුවීමේ හැකියාව ඇත. ඒ නිසා වඩා සුදුසු වන්නේ රටේ ඉතිහාසය වෙනස් කළ හැකි එවැනි ක්‍රියාවක් සිදු වීමට පෙර එය වළක්වා ගැනීමය. ඒ සඳහා ජාතික සංවිධාන ලෙස අපි ඔබතුමා වෙත පහත සඳහන් යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

1) රටේ පවතින ආර්ථික අර්බුදය සමනය කර ශිෂ්ඨ සම්පන්න දේශපාලන සංවාදයකට ඉඩකඩ ලැබෙන තෙක් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පමා කිරීම. (මේ වන විට නව අගමැතිතුමා සතුව ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශ්වකර්ම හැකියාවක් තිබෙන බව කියැවෙන බැවින් ඒ සඳහා වැඩි කාලයක් ගත නොවීමට ඉඩ ඇත.)

2) එසේ සුදුසු අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමේ දී දැනට ගැසට් කර ඇති පුද්ගලක මන්ත්‍රී කෙටුම්පත් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීම වෙනුවට රජය විසින් නව කෙටුම්පතක් ගැසට් කර පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කිරීමට පෙර මහජන සංවාදය සඳහා සාධාරණ කාලයක් ලබා දීම.

3) ගැසට් කරන ලද කෙටුම්පතේ අඩංගුවන සංශෝධන සහ අධිකරණය හමුවේ එකඟ වූ සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට ඇතුල් නොකරන බවට විවෘත සහ පැහැදිලි සහතිකයක් සියලු පාර්ශව විසින් ලබා දීම.

4) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ කූඨ උපක්‍රම අනුගමනය කිරීම වෙනුවට එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජනමත විචාරණයකට ඉදිරිපත් කරන බවට අදාල කෙටුම්පත පළමුවර කියවීමේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකිරීම. (එවැනි තත්වයකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාල සංශෝධන අභියෝගයට ලක්කිරීම අවශ්‍ය නොවේ)

5) ජනාධිපති සහ අගමැති අතර බලතුලනයේ කුමන හෝ අවුලක් ඇති කිරීම මගින් රාජ්‍යය දුර්වල කිරීමට ඉඩ නොතැබීම. එසේම ජනාධිපති හෝ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ විධායක බලතල දුර්වල කෙරෙන සංශෝධන ඉදිරිපත් වන තත්වයක් යටතේ අනිවාර්යෙන්ම 13 වැනි සංශෝධනය මගින් පළාත් සභාවට ලබාදී ඇති ව්‍යවස්ථාදායක බලතල අහෝසි කිරීම.

6) ජනාධිපතිවරණයේදී ඔබතුමා වෙත ලැබුණු ජනවරම අනුව රටට ඉදිරිපත් කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් මිස ව්‍යවස්ථා සංශෝධයක් නොවේ. ඒ අනුව වඩා සුදුසු වන්නේ විවිධ බලවේග වල යටි අරමුණු අනුව ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන අනුමත කිරීම වෙනුවට නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමය. (පවතින ආර්ථික අර්බුදය සමනය කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පැවත්වීමට පෙර නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු වේ.)
ඔබතුමාට තෙරුවන් සරණයි,

ආචාර්ය ගුණදාස අමරසේකර,
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව.

වහාම පරාජය කළයුතු මතයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ජාතික සංවිධාන එකමුතුවේ මේ මතය වහාම පුරවැසියන් විසින් පරාජය කළයුතු මතයක් ලෙසය.

මේ හරහා යළිත් වටයකින් විධායක ජනාධිපති සතු අත්තනෝමතික බලය සුජාතභාවය වෙත ඔසවන බවත් එය ජාතිවාදී ආගම්වාදී පසුගාමී බලවේග වෙත මිස පොදුජනතාව වෙනුවෙන් කිසිදු සහනයක් නොවන බවත් ඔවුන් පවසයි .

මේ මොහොතේ පවතින පොදුජන අරගලය සම්බන්ධයෙන් ද මෙකී යෝජනාව නිශේධනාත්මක ලෙස බලපෑම් කරන බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මේ වන විට පොදුජන අරගලය අත්තනෝමතික විධායක ජනාධිපති ධූරය ප්‍රතිකේෂ්ප කර වෙනසක් පතන නමුත් ජාතික සංවිධාන එකමුතුව තවදුරටත් විධායකයේ අත්තනෝමතික බලය තහවුරු කර ජනතා අරගලය මොට කරන්න මැදිහත්වීමක් පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් පවසයි .