විරෝධතා සාමකාමී : හදිසි නීතිය අනවශ්‍යයි - නීතිඥ සංගමය

විරෝධතා සාමකාමී : හදිසි නීතිය අනවශ්‍යයි - නීතිඥ සංගමය

මැයි 06 මධ්‍යම රාත්‍රියේ සිට වහාම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

රටේ මේ වනවිට උද්ගත වි ඇති තත්ත්වයට හදිසි නීතිය පිළිතුරක් නොවන බැවින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටීයි.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.

ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන අතර, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවාගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.

හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝණය වන බව එම සංගමය පෙන්වාදෙයි.

මෙවන් අවස්ථාවක හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙලෙස හදිසි නීතිය පැනවූ බව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන යටතේ මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න