පොලිස් ඇමති රඹුක්කන ඝාතන පරීක්ෂණය කරලා ඉවරද ?

පොලිස් ඇමති රඹුක්කන ඝාතන පරීක්ෂණය කරලා ඉවරද ?

ඊයේ (19) රඹුක්කන සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර නැතත් පොලිසිය භාර අමාත්‍යවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඒකපාර්ශවීය ලෙස අදහස් දක්වා ඇති බවත් ඒ අනුව සිදුවන පරීක්ෂණවල අපක්ෂපාතීබව ගැන ගැටලුවක් ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් මේ වන සඳහන් කරන්නේ අද (20) පොලිසිය භාර නව කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග දැක්වූ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ , ගරු කථානායකතුමනි, මම ඊයේ තමයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වැඩ ආරම්භකළේ. මේ තනතුරේ ඇති වගකීමත් එක්ක මම ඊයේ දවස පුරාම පාර්ලිමේන්තුවේ ඉතා කාර්ය බහුල වුණා.

ඊයේ රඹුක්කනදී මේ අවාසානාවන්ත සිද්ධිය ඇති වු වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, පොලිස්පතිතුමාත් ඒ ගැන රටට පැහැදිලි කිරීමක් කළා.

රඹුක්කන සිද්ධිය ඇතිවු අවස්ථාවේදි එය පාලනය කර ගැනීම සඳහා පොලීසිය හැකි ක්‍රියාමාර්ග ගත්තා. පැය 10කට ආසන්න කාලයක් මේ අය බස් රථ නතර කරමින්, දුම්රිය නතර කරමින්, කළහකාරී ලෙස හැසිරුනා. පාසැල් ලමයින්, රැකියාවලට ගිය අය පැය ගණන් රස්තියාදු වුණා.

මේ කළහකාරීන් ත්‍රීවිල් රථයයකට ගිනි තියා තිබුණා. ඉන්ධන ලීටර් 33000 ක් සහිත බවුසරයක් ගිනි තබන්නට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට පැවරී ඇති බලතල අනුව එය පාලනය කළා. මේ ගිනි තැබීම වුණා නම් අද රඹුක්කනක් නෑ. පොලීසිය මේ අවස්ථාවේදී කටයුතු කලේ පොලිස් ආඥාපනත හා පොලිස් නියෝග අනුවයි.

පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය අනුවත් දණ්ඩ නීති සංග්‍රහය අනුවත් පොලීසියට මේ සඳහා අවශ්‍ය බලය තිබෙනවා.

ඒ අවස්ථාවේදී එම ස්ථානයේ පවතින තත්ත්වය අනුව එහි සිටින ඉහළම පොලිස් නිලධාරියාට ඒ සඳහා තීන්දුවක් ගත හැකියි . පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් ඉහළ කෙනෙකුට තමයි ඒ තින්දුව ගන්න පුළුවන් .

පරීක්ෂණ වාර්තාව මේකද ?

අමාත්‍යවරයා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ පැවසීය.

"මේ ඝාතනය සම්බන්ධයෙන් මේ වෙනකොට ලංකා නීතිඥ සංගමය , මානව හිමිකම් කොමිසම සාධාරණ විමර්ශනයක් ඉල්ලා තිබෙනවා. පොලිස් විමර්ශනයක් සිදුකරන බවත් සඳහන් කරනවා. ඒ වගේම මහනුවර මානව හිමිකම් කොමිසමේ ශාඛාවේ නිලධාරීන් විමර්ශන අරඹා තිබෙනවා.

ඒ වගේම ජනාධිපති පවා කණගාටුව ප්‍රකාශ කර තියෙනවා. ඒ වගේම මේ වෙඩි තැබීම ගැන නියෝගය දුන්නේ දේශපාලනඥයකු බවටත් මාධ්‍ය වාර්තා පළවෙනවා.

ඒ පසුබිමේ පොලිස් ඇමති උද්ඝෝෂකයින් වැරදි කරුවන් කරලා ප්‍රකාශ නිකුත්කර තියෙනවා. දැන් කොහොමද සාධාරණ පරීක්ෂණයක් , විමර්ශනයක් ගැන බලාපොරොත්තු තියන්නේ ? මිනිස්සුන් ඉන්ධන නැති නිසා පාරට ආවේ. අසාධාරණ මිල ඉහළ දැමීමට තමයි විරෝධය පළකරේ. එහෙම පිරිසක් ඉන්ධන බවුසර් ගිනි තියයිද ? මේ ත්‍රස්තවාදීන් නෙවෙයි , මේ සාමාන්‍ය ජනතාව. ආණ්ඩුවට මතක නෑ ඔවුන්ට ජන්දය දුන්නේ මේ මිනිසුන් කියලා ".

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න