උගන්ඩාවට පැටවූයේ මොනවද ? අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

උගන්ඩාවට පැටවූයේ මොනවද ? අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාවට ප‍්‍රවාහනය කරන ලද මුද්‍රිත ද්‍රව්‍ය සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඒ 2021 සැප්තැම්බර් 23 සිදුකළ ප්‍රවාහනයක් සම්බන්ධයෙනි.

නීතිඥවරුන් වන එරන්ද වැලිඅංගේ, තාරක නානායක්කර, ඉන්දික පේ‍්‍රමතිලක විසින් ගොනු කර ඇති අතර අදාළ පැමිණිල්ල පහත දැක්වෙයි.

වර්ෂ 2022 අපේ‍්‍රල් මස 19 වන දින දීය.

අධ්‍යක්‍ෂ ජනරාල්
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

වර්ෂ 2021 සැප්තැම්බර් මස 23 වන දින ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ප‍්‍රවාහනය කරන ලද භාණ්ඩ සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටීම.

වර්තමාන ආණ්ඩුව විසින් සිදුකරන ලද සීනි බදු වංචාව ඇතුළු විවිධ දූෂණයන් හේතුවෙන් රටේ ආර්ථිකය බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් බංකොලොත්භාවයට පත්වෙමින් සිටී.

රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්තමානයේ ලංකාවට ආනයනය කිරීමට නොහැකි වී ඇත්තේ රට තුළ ඩොලර් සංචිත ප‍්‍රමාණවත්ව නොමැති වීම හේතුවෙන් බව සියළුදෙනා දන්නා කරුණකි.

මෙරට තිබු ඩොලර් සංචිත ක්‍ෂය වීමට එක් හේතුවක් වී ඇත්තේ රට තුළට ඩොලර් නෝට්ටු ලෙස ලැබී තිබූ විශාල =ඩොලර් ප‍්‍රමාණයක් ලංකාවේ දේශපාලන බලවතුන් විසින් හෝ ඔවුන්ගේ සමීපතමයන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට කටයුතු කිරීම බව සමාජය තුළ විශාල කතිකාවතක් ගොඩනැගී ඇත.

මේ සම්බන්ධයෙන් අප විසින් කළ කරුණු සොයා බැලීමේදී පහත සඳහන් කරුණු අප හට අනාවරණය වී ඇත.

වර්ෂ 2021.09.23 වන දින ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානා තුනක් ලංකාවේ සිට උගන්ඩාවේ එන්ටෙබේ ගුවන් තොටුපොලට භාණ්ඩ තොගයක් ප‍්‍රවාහනය කර ඇති බව.
ශ‍්‍රී ලංකාව සහ උගන්ඩාව අතර එකී දිනයට පෙර හෝ පසුව ශ‍්‍රී ලංකා ගුවන් සමාගම විසින් ඍජු ගුවන් ගමන් සේවා පවත්වා නොමැති බව.

ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ශ‍්‍රී ලංකා ගුවන් සේවය විසින් ප‍්‍රවාහනය කර ඇති බහාළුම්වල ඇති ද්‍රව්‍යීමුද්‍රිත ද්‍රව්‍යයන් (Printing Materials) ලෙස ප‍්‍රකාශයට පත් කර තිබීම.
ආදී වශයෙන් වේ.

ඉහත සඳහන් කළ ආකාරයට ගුවනින් ප‍්‍රවාහනය කරන ලද බහාළුම් ඇමරිකානු ඩොලර් විය හැකි බවට අප හට බලවත් සැකයක් මතු වී ඇත. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මේ දක්වා අදාළ මුද්‍රිත ද්‍රව්‍යයන් මොනවාද යන්න හෙළිකිරීමක්ද සිදුකර නොමැත.

එපමණක් නොව එකී බහාළුම් ශ‍්‍රී ලංකාව විසින් උගන්ඩා රාජ්‍ය සඳහා පත්කර ඇති මහ කොමසාරිස්වරයා විසින් බාරගෙන ඇති බවටද සමාජ මාධ්‍ය විසින් කරුණු හෙළිදරව් කර ඇති අතර එකී පුද්ගලයා විවිධ අනීතික ගනුදෙනු සඳහා කුප‍්‍රකට පුද්ගලයකු බවටද සමාජ මාධ්‍ය විසින් කරුණු හෙළිදරව් වෙමින් පවතී.

ඉහත සඳහන් කරුණු අනුව ඉහත කී බහාළුම් ශ‍්‍රී ලංකාවේ උගන්ඩා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන වෙළුපිල්ලේ කනන්තන් යන අය විසින් බාරගෙන ඇත්තේද සහ එසේ නම් එකී බහාළුම්වල සත්‍ය වශයෙන්ම අඩංගු වූයේ මොනවාද සහ එලෙස යවන ලද බහාළුම්වල හිමිකරු කවරේද යන්න සොයා දැනගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.

ඉහත සඳහන් බහාළුම් මගින් ලංකාව තුළ තිබූ ඩොලර් නෝට්ටු උගන්ඩාව වෙත යවා ඇත්නම් එය මහා පරිමාණ දූෂණයක් වන බැවින් ශ‍්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන ඔබතුමන් හට ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා කරුණු හෙළිදරව් කර ගැනීම සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් පැවරී ඇත.

කරුණු එසේ හෙයින් ඉහත කී ගනුදෙනුව සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් මගින් නිසි කරුණු හෙළිදරව් කර ගන්නා ලෙසත්, දූෂණයක් සිදුවී ඇත්නම් අදාළ පාර්ශවයන්ට දක්‍ෂුවම් කර ශ‍්‍රී ලාංකිකයන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

නීතිඥ එරන්ද වැලිඅංගේ
නීතිඥ තාරක නානායක්කර
නීතිඥ ඉන්දික පේ‍්‍රමතිලක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න