කෝප් කමිටුව : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කුඩු කරයි !

කෝප් කමිටුව : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කුඩු කරයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් එම ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් රට නියෝජනය කරන ආයතනයක් විනා නිලධාරීන් ගේ පෞද්ගලික දේපළක් නොවන බව සිතා කටයුතු කරන්නැයි කෝප් කාරක සභාව එහි ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේය.

කෝප් කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ආයතනයේ ක්‍රියාකාරකම්වලට අදාල තොරතුරු ලබාදෙන්නැයි විගණන කාර්යාලය ඉල්ලීම් කර ඇතත් ඒවාට පිළිතුරු නිසි අයුරින් සපයා නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කෝප් කමිටුව එම ආයතනයට බලවත් අප්‍රසාදය පළ කර තිබේ.

විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කාරක සභාව කළ විමසුම්වලදී නිලධාරීන් පරස්පර විරෝධී තොරතුරු සහ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුව එහි ප්‍රධානීන්ට අප්‍රසාදය පළකර තිබේ.

මේ අතර රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට වැඩි වටිනා ව්‍යාපෘති හතරක් අතහැර දමා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.එම වියදම් 2020 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල කෙරීගෙන යන වැඩ ලෙස දක්වා ඇතැයිද කෝප් කමිටු සඳහන් කර ඇත.

දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරඟයේ රූපවාහිනි විකාශයට අදාළව (2018) රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බැංකු ගිණුමට නොව වෙනත් බැංකු ගිණුමකට හරවා යැවීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාව කරුණු විමසා ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද කාරක සභාව නිරීක්ෂණය කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න