Language Switcher

V2025

එජාප නියෝජ්‍ය නායකයාගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක් !

රජය තම අසාර්ථකත්වය, මහජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කරන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට රජය දරන උත්සාහය ගැනත් එක්සත් ජාතික පක්ෂයේ විවේචනයට යොමුව තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන චෝදනා කළේ මහජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී වූ රැස්වීමකදී විජේවර්ධන පසුගියදා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

“ආණ්ඩුව මහජනතාවට සලකන්නේ මෝඩයන් ලෙසයි, ඔවුන් සිතන්නේ, ඇමතිවරුන් දෙදෙනෙකු නෙරපා හැරීමෙන් රටේ ප්‍රශ්න විසඳන්නේ ඔවුන් යැයි අපට සිතෙන බවයි. මේක අපේ අවධානය වෙනතකට යොමු කරන්න කරන උත්සාහයක් පමණයි. ඩොලර් රටට ඇතුළු වීම වළක්වන ප්‍රතිපත්ති දිගින් දිගටම අනුගමනය කරන මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා විසින් ඉවත් කළ යුතු නම්, ඩොලර් අර්බුදයට කැබිනට් සංශෝධනය පිළිතුරක් නොවෙයි"

මහජනතාව මුහුණ දෙන ගැටලු දිනෙන් දින ඉහළ යන නමුත් ඒවා විසඳීමට රජය කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“මුලින්ම කිරිපිටි හිඟයක්, ඊට පස්සේ සිමෙන්ති හිඟයක්, ඊට පස්සේ ගෑස් හිඟයක් ආවා, දැන් ඉන්ධන හිඟයක්, පැය 7ක විදුලිය කප්පාදුවක්. ගෑස් හිඟයේ තවත් වටයක් ද අපිට ඉදිරියේදී දකින්න පුලුවන් වෙයි. මේ ප්‍රශ්න විසඳන්න මේ රජය මොනවද කරලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය මාස 18ක් තිස්සේ මේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. මේ අර්බුදයට ඔවුන්ගේ විසඳුම කුමක්ද?”

රටේ අර්බුදය විසඳීමට ගන්නා ඕනෑම අර්ථවත් ප්‍රයත්නයකට එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව පැවසූ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , “අපි නැගී සිට මෙම ගැටලු විසඳීමට රජයට සහය දීමට ඉදිරිපත් වූ නමුත් ඔවුන් අපව නොසලකා හැර තිබෙනවා. ඔවුන් දැන් මහජනතාව නොසලකා හරිනවා. මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා ජනතාව පාරට බහින්න වැඩි කාලයක් ගත වන්නේ නැහැ." යනුවෙන් ද පැවසීය.

එජාප මාධ්‍ය ඒකකය විසින් මේ සම්බන්ධ නිවේදනය නිකුත්කර ඇත.