රටම හරි මගට වැඩේ : ආණ්ඩුව ගිනි තියයි : රාජපක්ෂ පවුලේ නීතිඥයත් ගිහින් !

රටම හරි මගට වැඩේ : ආණ්ඩුව ගිනි තියයි : රාජපක්ෂ පවුලේ නීතිඥයත් ගිහින් !

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඇතුලු ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක් විසින් ඊයේ (02) සංවිධානය කළ රටම හරි මගට වැඩපිළිවෙළ එළිදැක්වීම සම්බන්ධයෙන් දැඩි පියවරක් ගතයුතු බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කර ඇත.

ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට කෙතරම් කටුක සහ අසීරු වුවත් ජනාධිපතිවරයා විසින් මෙම පිරිස සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

බැසිල්ගේ ගෝලයන් ගේම ඉල්ලයි !

ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායමේ ප්‍රබලයකු මෙන්ම උග්‍ර බැසිල් වාදියෙක් ලෙස සැලකෙන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ‌රට ඇතුළේ ‌බරපතළ ප්‍රශ්නයක් මතුව පැවතියදී මෙම පිරිස එම අර්බූද උග්‍ර කරමින් සිදු කරන මෙම ක්‍රියාදාමය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවකි.

මේ නිසා ජනාධිපතිවරයා විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු මෙම කණ්ඩායම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගත යුතු බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා පවසන බවය.

එම නිසා ඉදිරියේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල අමාත්‍යවරුන් සහභාගී වන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත.

රාජපක්ෂ පවුලේ නීතිඥයත් ගිහින් !

මේ අතර ආණ්ඩුව පාර්ශ්වය තවත් දුෂ්කරතාවකට පත්ව ඇත්තේ මෙම ආණ්ඩුවේ සෙසු පක්ෂ සංවිධානය කළ අවස්ථාව සඳහා රාජපක්ෂ පවුලේ නීතිඥවරයා ලෙස ප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලේවත්ත ද සහභාගි ව ඇති බව හෙළිදරව් වීම නිසයි.

(මේ බව මව්රට පුවත්පත ද වාර්තා කොට ඇත.)

විශේෂයෙන් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ වත්මන් අගමැති , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුතුන් සම්බන්ධයෙන් පැවති නඩු වලදී මේ නීතිඥ ප්‍රේම්නාත් සී දොලේවත්ත ඒවාට මැදිහත් වූ බව රහසක් නොවේ.

ඒ සමයේ අදාළ නඩු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ ද ඔහු වූ අතර ඒ නිසාම රාජපක්ෂ පුතුන් පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ ඔහුගේ වේදිකාවේ සිට ප්‍රේම්නාත් සී දොලේවත්ත වෙනුවෙන් මනාපයක් ඉල්ලා ජනතාව වෙත ගිය බවත් රහසක් නොවේ.

මේ වන විට සමාජ මාධ්‍ය තුළත් ඇතැම් වාර්තා පළවෙමින් ඇත්තේ රටම හරි මගට වැඩපිළිවෙළ පිටුපස රාජපක්ෂ පවුලේ ප්‍රධානියකු සිටින බවය.

එසේම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ද මේ අවස්ථාව සඳහා එක්ව ඇති බවත් වාර්තා වෙයි.

පොදුජන පෙරමුණට ආරාධනා නෑ !

එමෙන්ම අදාළ වැඩසටහන වෙනුවෙන් පොදුජන පෙරමුණ වෙත නිල ආරාධනයක් සිදුව නොමැති බව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය වෙත තහවුරු කර ඇති බවත් වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න