Language Switcher

V2025

සජිත් යන්නේ කොහෙද මල්ලේ පොල් : ආණ්ඩුව ගෙදර යන්න සූදානම් වෙන්න - ලාල්

"සජිත් ප්‍රේමදාස යන්නේ කොහෙද මල්ලේ පොල්. නමුත් අපි ඉතිහාසයෙන් අත්දැකීම් අරගෙන වැඩ පිළිවෙළක් සහිතව වැඩකරගෙන යනවා. ඒ නිසා රාජපක්ෂලාගේ ගේ ඇතුළේ ඉඳලා අපි කියන්නේ යන්න සූදානම් වෙලා හිටපල්ලා." යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

ඒ ජාතික ජන බලවේගය පවත්වන මහජන රැලි මාලාවක මංගල රැලිය ඊයේ (26) තංගල්ලේදී පැවැත්වූ අවස්ථාවේ පිරිස අමතමිනි .

ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඇතුළු ජාතික විධායක සභිකයින් රැසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර අති විශාල ජන සහභාගිත්වයක් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහෙනම් වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත මෙසේද පැවසීය.

“මේ වෙලාවේ ලෝකය පුරාම ජනතාව බලා ඉන්නේ යුක්රේනය සහ රුසියාව දිහා. අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කවද්ද කියලා. මේ ආණ්ඩුව ගෙදර යවන සටන අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ බව ජාතික ජන බලවේගයේ අපි අභිමානයෙන් කියන්න කැමතියි. මේ ජනාධිපතිවරයා බලයට පත්වුණේ 2019 දී. මේ ආණ්ඩුව බලයට පත්වුණෙත් 2020 අගෝස්තු මාසයේදී. මේ ආණ්ඩුව ඉක්මනින්ම ජනතාවට එපා වුණු නිසා ගෙදර යවන අරගලය අපි 2021 අගෝස්තු පළවැනිදා ආරම්භ කළා. ජනමාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ ආණ්ඩුව පෙරළලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩනගන්න සූදානම් කියලා අපි රටට ප්‍රකාශයක් කළා.

ඊට පස්සේ කට්ටිය එක එක කතා කියන්න පටන් ගත්තා. ඒ කතාවලට අභියෝග කරමින් අපේ මිත්‍රයින්ටත් සතුරන්ටත් දෙගොල්ලන්ටම දැනගන්න 2021 දෙසැම්බර් 20 වැනිදා කොළඹදී සමුළුවක් තියලා ජාතික ජන බලවේගයේ රට ගොඩනඟන වැඩපිළිවෙළත්, 73දෙනෙකුගේ නායක මණ්ඩලයත් රටට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඇහුව්වා දිස්ත්‍රික්කවල නායකයන් කෝ කියලා. අපි ජනවාරි මාසයේ 5වැනිදා මහනුවර දිස්ත්‍රික් සමුළුවක් තියලා 37දෙනෙකුගේ නායක මණ්ඩලයක් පතකර ගත්තා. ඉන්පස්සේ සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් නායකත්වය ජනතාවට ඉදිරිපත් කරමින් දිස්ත්‍රික් සමුළු පවත්වනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ නායක මණ්ඩලය කොට්ඨාස මට්ටමින් ඉදිරිපත් කරන එන්පීපී සභා හදන වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් යනවා. තවත් අදියරක් හැටියට තංගල්ල නගරයේදී අද මේ ජන බල රැලිය පවත්වනවා. අපි වටා එකතුවෙන්න සූදානම් සියලුම ජනයාට දොරටු විවෘත් කරමින් මේ රැලිය පවත්වනවා. ජාතික ජන බලවේගය වටා ජනතාව පෙළ ගැසෙන ආකාරය අතුරු සිදුරු නැතිව පිරී යන මේ ජනකායෙන් පේනවා.

අපි බලයට ඇවිල්ලා ගොඩනඟන ආණ්ඩුව මොකක්ද කියලත් සමහරු අහනවා. ඒක සමාජවාදීද අහනවා. ඒ වගේම අද ලංකාවේ වැඩිපුරම මඩ ගහන්නේ අවලාද නගන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාටයි. ඒ කියන්නේ සතුරන්ට හොඳටම රිදිලා. ආණ්ඩුව ඇතුළේ විතරක් නොවෙයි එළියේ ඉන්න ද්‍රෝහීනුත් මේ වැඩේම කරනවා. ඒක හොඳයි. අපි ඒ ගැන සතුටු වෙනවා. ඔය අතර සතුරනුත් එක එක මත හදනනවා. ජාතික ජන බලවේගයට බලය අරගෙන ඩොලර් ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියලා අහනවා. ඒ වගේම අපිට ලැබෙන ඇමතිකම් මොනවාද කියලා අහනවා. ලාංකීය භූමියේ ඊළඟ ආණ්ඩුව කරන්නේ මොනවාද කියලා අහන්නේ ජාතික ජන බලවේගයෙන් විතරයි. අවුරුදු 73ක ප්‍රතිගාමී පාලනය අවසන් කරලා නව සමාජයක් ගොඩනඟන්න මිතුරෝ එකතු වෙනවා. සතුරෝ පහර දෙනවා.

මේ සමාජයේ ගොවි, ධීවර ඇතුළු විවිධ ස්ථරවල ජනතාව අපි වටා එකතු වී සිටියා. නමුත් මේ මොහොත වන විට මේ රටේ ඉහළම ආදායම් ලබන ස්ථරයේ පිරිස විශාල වශයෙන් අපෙන් කරුණු පැහැදිළි කර ගන්නවා. ඔවුන්ට කරුණු පැහැදිළි කරගන්න සිදුවී තිබෙනවා. රාජපක්ෂලාගේ පාලනය යටතේ අද වැඩියෙන්ම ගුටි කාලා තිබෙන්නේ ගොවිජනතාව, ධීවර ජනතාව, විතරක් නොවෙයි. මධ්‍යම පාන්තික ජනතාවත් පොල් ගහක කරටියෙන් බිමට වැටිලා වගේ ඉන්නේ. මම මේ කියන්නේ ජාවාරම්කාරයෝ ගැන නොවෙයි. මේ රටේ කර්මාන්තකරුවෝ, වෙනත් ව්‍යාපාරිකයෝ, මහා පරිමානයෙන් සිටි සියලුම දෙනාට වැදිලා තියෙන්නේ. ගොවි ජනතාව, ධීවර ජනතාව, පැදුරෙන් බිමට වැටිලා නම්, ඉහළම ජනතාව ඊට වඩා බරපතළ වැටීමකට ලක්වෙලා. දැන් ඒ අය අප වටා එකතු වෙමින් ඉන්නවා.

මේ සියලුම දෙනාගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන රටක් ගොඩනඟන වැඩපිළිවෙළ වටා ඒකරාශී වන ජනතාව කොතරම්ද කියලා පෙන්නුම් කරන ඓතිහාසික රැලියක් මේක. මුලින්ම මොන ඡන්දයක් එයිද කියලා අපි දන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණයක් ඉස්සෙල්ලාම ආවොත් කුමන්ත්‍රණ කරලා අපෙන් පැහැර ගත්ත තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවත්, තවත් ප්‍රාදේශීය සභා විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා කියන එකත් අපට කිසිම සැකයක් නැහැ. මහ මැතිවරණයකට තව අවුරුදු 3 1/2ක් තියෙනවා. මේ විදිහට අවුරුදු තුනහමාරක් යන්න බැහැ. රාජපක්ෂලාගේ ගේ ඇතුළට ඇවිල්ලා අපි කෑගහලා කියනවා මැතිවරණයක් තියපල්ලා. යුද්ධය ඉවර වුණාට පස්සේ රාජපක්ෂලා ඈත තිබුණු ඡන්ද ළඟට ගත්තා. නමුත් දැන් රාජපක්ෂලා පවත්වන්න ඕනෑ ඡන්දත් කල්දානවා. ඒ විතරක් නොවෙයි පාර්ලිමේන්තු ඡන්දයක් ලබාගන්න ජනතාව සූදානම් නම් ඒකත් කරන්න පුළුවන්. රටේ ජනතාව හඬගාලා කියනවා නම් පාර්ලිමේන්තුවට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ජන බලයට වඩා බලයක් වෙන කොහේවත් නැහැ. දැන් පලයල්ලා කියලා තිබෙන ජන මතය ජන බලයක් බවට පත්කරලා මේ හඬ නඟන්න ඕනෑ. ජන බලය කියන්නේ සංවිධානය වුණු ජනතාවගේ ශක්තිය.

අපේ ගුරුවරයා වුණු, ලෙනින් අපට කියලා තිබෙන්නේ වැඩ කරන ජනතාවට සංවිධානය වීම හැර වෙනත් අවියක් නැත කියලයි. සතුරු බලවේග අවදිවෙලා තියෙනවා. ලෙනින් සහෝදරයා අපට කියලා තිබෙන්නේ විප්ලවය අවදි වන්නේ ප්‍රතිවිප්ලවයද අවදිකර ගනිමිනි කියලයි. අපි සමාජ පරිවර්තනය ආරම්භ කර තිබෙනවා. ඒ නිසා ප්‍රතිගාමී බලවේගත් අවදිවී තිබෙනවා. අපි අයාලේ යනවා නොවෙයි. දැනගෙන පිළිවෙළකට වැඩ කරන්නේ. තංගල්ලේ රැලිය නිකම්ම පවත්වනවා නොවෙයි. මාධ්‍ය සාකච්ඡාවක් තියලා පටන් ගත්ත වැඩ පිළිවෙළක තවත් අදියරක් තමයි මේ රැලිය.

සජිත් ප්‍රේමදාස යන්නේ කොහෙද මල්ලේ පොල්. නමුත් අපි ඉතිහාසයෙන් අත්දැකීම් අරගෙන වැඩ පිළිවෙළක් සහිතව වැඩකරගෙන යනවා. ඒ නිසා රාජපක්ෂලාගේ ගේ ඇතුළේ ඉඳලා අපි කියන්නේ යන්න සූදානම් වෙලා හිටපල්ලා. ජනතාව රවට්ටලා නැවතත් බලය ලබාගන්න උත්සාහ කරන ප්‍රතිගාමින් අපිත් එක්ක තරගයට ආවා. සජිත් ප්‍රේමදාස එහෙ මෙහෙ ගියා. රාජපක්ෂ පාලනය පලවා හැර නූතන වැඩපිළිවෙළක් සහිතව රට ගොඩනැගීමට කටයුතු කරන ලාංකීය සමාජයේ ඉදිරියෙන්ම ඉන්න බලවේගය ජාතික ජන බලවේගය විතරයි කියලා අවධාරණය කරනවා. හැමෝම එකතු වී අත්වැල් බැඳගෙන මේ පාලනය පලවා හැර ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනඟමු. ජාතික ජන බලවේගයට ජයවේවා!”