ලන්සාගේ ලිපියෙන් : මහා මාර්ග ඇඹරෙයි !

ලන්සාගේ ලිපියෙන් : මහා මාර්ග ඇඹරෙයි !

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මේ සතියේ යැවූ පිටු තුනක රහසිගත ලිපිය මගින් පසුගිය කාලයේ මහාමාර්ග අමාත්‍යංශයේ මග නැගුම ඇතුළු ආයතන ගණනාවක සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනු ගණනාවක් ගැන බරපතළ චෝදනා නඟා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන් විසින් හෙළිදරව් කරන ලද කරුණුවලට අදාළ සාක්ෂි තමා සතු බැවින් ඒවා ගැන වහා පරීක්ෂණයක් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරය වෙනුවට ඔහුට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට රජය ඊට පෙර යෝජනා කර තිබුණද ලන්සා මහතා විසින් එම තනතුර ප්‍රතික්ෂේප කරන ලද බවද දේශයට වාර්තා වෙයි.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත්කොට තමන්ට අවශ්‍ය ප්‍රතිපාදන නිසි ලෙස ලබාදුනහොත් තමන් එම මුදල් උපයෝගී කරගෙන ග්‍රාමීය මාර්ග සංවර්ධනයට පියවර ගන්නා බවත් ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත. එසේම පසුගිය කාලයේ මහාමාර්ග අමාත්‍යංශයේ දේශපාලන කටයුතු භාර නිලධාරියකු තමන්ට ඇතැම් නිල කටයුතුවලට මැදිහත් නොවන ලෙස උපදෙස් දුන් ආකාරය ඇතුළු රහසිගත කරුණු රැසක්ම ලන්සා අමාත්‍යවරයා යැවූ ලිපියේ සඳහන් බව වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම ලිපිය ගැන පාර්ලිමේන්තුවේදී කරුණු කිහිපයක් සඳහන් කළ ලන්සා මහතා තමන් රජය ආරක්ෂා කළ යුතු නිසා තමන්ට එරෙහි ප්‍රචාරවලට ප්‍රතිප්‍රහාර නොදෙන බවත් යම් හෙයකින් ප්‍රතිප්‍රහාර දුනහොත් ප්‍රහාරයට වඩා ප්‍රතිප්‍රහාරය අදාළ අයට හානිකර විය හැකි බවත් පැවසීය.

මෙම ප්‍රකාශයෙන් පසු හදිසියේ ඔහු විදේශගත වීමට තීන්දු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 - දේශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න