Language Switcher

V2025

චීන නියෝජිතයාගෙන් බැසිල්ට බරබරයක් !

මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ රැස්වීමකදී ඊට සහභාගිවූ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානියෙක් රජයේ මැති ඇමතිවරුන්ගේ හා නිලධාරීන්ගේ හොර මගඩි හා අකාර්යක්ෂමතාවය ප්‍රසිද්ධියේම විවේචනය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මෙම ව්‍යාපෘතියේ ඉඳිකිරීම් බාර Metallurgical Corporation of China Ltd. (MCC) චීන සමාගමේ මෙරට ප්‍රධානියා මෙන්ම චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු බාර ප්‍රධානියා ද (Commercial Councilor: LI GUANGJUN) මෙම රැස්වීම සඳහා ආරාධිතයින් ලෙස සහභාගී වී ඇත.

එසේම, මෙම රැස්වීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ලන්සා සහ පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රීක් නායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද සහභාගී වී තිබේ.

මෙම ව්‍යාපෘතියේ දේශීය නියෝජිතයා හා විෂය බාර අමාත්‍යවරුන් අතර තිබෙන ව්‍යාපාරික ගැටුම් සම්බන්ධයෙන් ද චීන තානාපති කාර්යාල නිලධාරියාගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පැවසේ.

කෝපයෙන් යුතුව අදහස් දක්වා ඇති චීන නියෝජිතයාගේ බරපතල වාග් ප්‍රහාරය හමුවේ ඔහුව සන්සුන් කිරීමට මුදල් අමාත්‍යවරයා බලවත් උත්සහයක් දරා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

චීනයෙන් බරපතල චෝදනා පත්‍රයක් !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - 1 ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගමක් වන Metallurgical Corporation of China Ltd.(MCC) මුහුණ දීමට සිදුවෙන බාධා පිළිබඳව කරුණු දැක්වීමට චීන තානාපතිවරයා වෙනුවෙන් මෙම රැස්වීමට සහභාගී වූ චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු බාර ප්‍රධානියා (Commercial Councilor: LI GUANGJUN) දැඩි අප්‍රසාදය පල කරමින් පහත කාරනා වෙත ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ අවධානය යොමු කරවූ බවද මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග කියා සිටියි.

# චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු බාර ප්‍රධානියා මෙහිදී පෙන්වා දී ඇත්තේ, චීනයේ EXIM බැංකුව හරහා ලබා දුන් ණය මුදලක් මගින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියේ “කොන්ත්‍රාත්කාර පාර්ශවය මම” (I am the Contractor) යැයි උපකල්පනය කරන්නේ නම්, එම කොන්ත්‍රාත්කරු විසින් නම් කරන ලද උප කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ගේ වෘත්තීයභාවය මත පදනම්ව පත් කිරීමට ඔහුට පූර්ණ නිදහස මෙන්ම ඔහුගේ අභිමතය පරිදි කටයුතු කිරීමට අවකාශය ලබා දිය යුතු බවයි.

# එමගින් මෙම ව්‍යාපෘතිය ප්‍රමාදයකින් තොරව නියමිත වේලාවට ඉහළම වෘත්තීයභාවයකින් නිම කිරීමට හැකිවන බවත් චීන රජයේ නියෝජිතයා පෙන්වා දී ඇත.

# කොන්ත්‍රාත්කරුට ඔහු සමඟ වැඩ කළ හැකි උප කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම ඔහුට ලැබෙන අවිවාදිත අයිතිවාසිකමක් බව සඳහන් කර ඇති තානාපති කාර්යාල නිලධාරියා, ඔහු නම් කරන ලද උප කොන්ත්‍රාත්කරුවන්ගේ හැකියාවන් සහ වෘත්තීයභාවය මෙන්ම එම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගෙන ගැටලු නිසියාකරව ම හදුනා ගැනීමට හැකියාව ඇත්තේ අදාළ කොන්ත්‍රාත්කරුට පමණක් බවද අවධාරණය කර තිබේ.

# නමුත් යෝජිත උප කොන්ත්‍රාත්කරුවන් අමාත්‍යවරයාගේ පුද්ගලික අනුමැතියට භාජනය විය යුතු බවට තර්ක කිරීමට මුදල් අමාත්‍යවරයා මෙහි උත්සාහ කර ඇත.

# එකඟ වූ ගිවිසුමට ප්‍රකාරව කොන්ත්‍රාත්කරුවන් අනුමත කිරීම ව්‍යපෘති උපදේශකයාට ලැබෙන පුර්ණ අයිතියක් බව චීන නියෝජිතයා මෙහිදී පෙන්වා දී තිබේ.

# එවැනි පත්වීම් අනුමත කිරීමේ අයිතියක් අමාත්‍යවරයාට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

# අමාත්‍යවරයාගේ අනවශ්‍ය මැදිහත්වීම මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පහත සඳහන් බරපතල අහිතකර බලපෑම් වලට මුහුණපෑමට සිදුවෙන බවද තානාපති කාර්යාල බලධාරියා පෙන්වා දී ඇත.

1. MCC විසින් යෝජනා කරන ලද කොන්ත්‍රාත්කරුවන් කීපදෙනෙක් ව්‍යාපෘතියේ වැඩ කිරීමට අනුමැතිය ඉල්ලා ඇති නමුත් ඒවා ප්‍රතික්ෂේප කර ඇත.

2. මෙම නාමයෝජනා එක් වරක් නොව කිහිප වතාවක්ම අදාළ උපදේශකවරයා විසින් අනුමත කර ඇත.

3. අනුමැතිය හිමිවුණු වැඩ ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘති අධ්‍යක්ෂ දැනුවත් කර ඇත.

4. නමුත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා තම අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබෙන තුරු බලා සිටියි. එනිසා ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නැත.

5. උප කොන්ත්‍රාත්කරුවන් අනුමත කිරීමේදී ඇතිවූ ප්‍රමාදයන් දැන් වසර දෙකකට අධික කාලයක් පුරාවට සිදුවෙමින් පවතී.

6. ඇස්ෆල්ට් ආශ්‍රිතව සිදු කෙරෙන වැඩ සදහා යෝජිත ඉහල ඝනයේ ආයතනයක් වන M/s. WKK Construction (Pvt) Ltd වසර 2කට අධික කාලයක් කිසිඳු ලෙසකින් ව්‍යාපෘතියට දායක වීමට ඉඩ ප්‍රස්තාව ලබා දී නොමැත.

මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ව්‍යාපෘතිය නියමිත වෙලාවට නිම කිරීමට නොහැකි බවත් සිදුවන ප්‍රමාදය සදහා ඔවුන් හට කිසිඳු වගකීමක් නැති බවත් පෙන්වා දී ඇති තානාපති කාර්යාල නිලධාරියා, MCC ආයතනය වෙනුවෙන් පුර්ණ වශයෙන් තමා පෙනී සිටින බවද ප්‍රකාශ කර තිබේ.

එසේම අමාත්‍යවරයා විසින් අසාදු ලේඛනගත කර ඇති උප කොන්ත්‍රාත්කරුවන් මෙම ව්‍යාපෘතියට නම් කර ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

සංස්කාරක සටහන : යහපාලනයත් හොඳටම කරලා !

විශේෂ වාර්තාකරුවකු විසින් සිදුකර ඇති මේ අනාවරණය අනුව පළමුව රටක් ලෙස ලජ්ජා වියයුතුව ඇත. ඒ මෙරට රාජ්‍ය ඉදිකිරීම් ආශ්‍රිතව ඇත්තේ, අදාළ යටිතල පහසුකම ඉදිකිරීම හරහා එය රටේ සංවර්ධනයට දායක කරගැනීමේ උත්සාහය නොව මහා පරිමාණ ඉදිකිරීමට මැදිහත්වීම හරහා කොමිස් ගැනීම වන නිසාය. මේ අනාවරණය කියවීමේදී අපට හැඟී ගියේ ලංකාවේ ඇතැම් දේශපාලන - ව්‍යාපාරික ප්‍රජාවන් සමඟ ගනුදෙනු කිරීම දැන් චීනාටත් එපා වීගෙන එන තත්ත්වයක් ඇතිවෙමින් තිබේද යන්නය. රටේ කොයි වැඩේ පිටුපසත් ගැහිල්ලේ අඩුවක් නැති කම චීනුන්ට දරාගන්න නොහැකිව ඉස්මුරුත්තාවට ගොස් ඇත්තේ අද ඊයේ වුවත් රටට මේවා ඉස්මුරුත්තාවට ගොස් ගොඩක් කල්ය.

සැබවින්ම මෙකී අනාවරණය ගැනම කිහිපදෙනෙකු සමඟ සිදුකළ කතා බහේදී මතුවූ පොදු කරුණක් වූයේ යහපාලන සාමය තුළටත් මේ ගනුදෙනු වල මුල් ඇදී ඇති බවයි. අද මේ යන වලි සංවර්ධනය පිණිස හෝ සංවර්ධනය කඩිනම් කරගනු පිණිස යන වලි නොව බිස්නස් වැලි බවය. බිස්නස් වලියේ මුල තමන්ට දෙන එකාට කොහොම හරි වැඩේ අරගෙනදීමය. විශේෂයෙන් වත්මන් ආණ්ඩුවට හිතවත් තොරතුරු මුලාශ්‍ර මේ බව පැහැදිළිවම කියයි. එසේම මේ සම්බන්ධව තවත් චෝදනා යහපාලනයට අදාළවත් ඕනෑ තරම් බව ඔවුන් පවසයි. අපි කියන්නේ, මේ රටේ ජනතා විනිශ්චය වෙනුවෙන් ඒ තොරතුරුත් එළියට පැමිණිය යුතු බවයි. ඒ තොරතුරු නිරවද්‍ය බවට වගකීම අදාළ පාර්ශව ගත යුතුව ඇත. එවිට මිනිසුන්ට කවුරු කවුරු ගැනත් හරියට විනිශ්චය කරගන්න අවස්ථාව හිමිවනු ඇත.