Language Switcher

V2025

මානව හිමිකම් කඩ කරන්න ඉඩ දුන්නෙත් නෑ ඉඩ දෙන්නෙත් නෑ- ජනපති

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

සිය පාලන කාලය තුළ මානව හිමිකම් කඩ කිරීමට ඉඩ නොදුන් බවත් ඉදිරියටත් ඉඩ නොදෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.

තමන් මානව හිමිකම් කඩ කිරීම අනුමත නොකරන බවද ඔහු පැවැසීය.

යුද්ධයෙන් අතුරුදන් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරන බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

තමා ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අධිකරණයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකළ බවද ඔහු පැවැසීය.

යුද්ධයෙන් දීර්ඝ කාලයක් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාවට සියල්ලටම වඩා අවශ්‍ය වී තිබුණේ ආර්ථික සුරක්ෂිතභාවය යැයි පවසන ජනාධිපතිවරයා එම ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංගීම සදහා දෙමළ ජනතා නියෝජිතයන්ගෙන් සහාය ඉල්ලා සිටී.

"ඒ නිසා මෙම පාර්ලිමේන්තුව තුළ සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා, විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව හෝ පසෙක ලා ඔබේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන ලෙස."

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ තමන්ට ඡන්දය දුන් සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව සැලසීම ප්‍රමුඛස්ථානයේ ලා සලකන බව පවසා සති දෙකක් ගතවීමත් සමගය.

සංහිඳියාව සඳහා රජයේ මූලික වගකීම ලෙස සලකන්නේ කිසිදු වෙනස්කමකින් තොරව මෙම ජනතාව සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය අමතමින් වැඩිදුරටත් පැවසීය.

 

 

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම බලපෑම් එල්ල කරන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබදවම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සිදු කළ කතාව මගින් අවධානය යොමු කර තිබුනි.

යුද පීඩිත ජනතාව යුක්තිය ඉල්ලා දිගටම කරන අරගල සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හා දෙමළ ඩයස්පෝරාව කරන බලපෑම් ‘කුමන්ත්‍රණ’ ලෙසින් හෙලා දුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙදින කතාවේදී ඒ සම්බන්ධයෙන් දැක්වුයේ ප්‍රවේසම් සහගත ප්‍රවේශයකි.

පසුගිය කාලයේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරගන්නට අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ තමන් මානව හිමිකම් කඩකිරීම් වලට අනුබල දී නොමැති බවයි.

 

"මා වගකීමෙන් කියනවා, මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේ දී එවැනි ක්‍රියාවක් සිදුවන්නට අප ඉඩ තබන්නෙත් නැහැ. අප එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ."

 

යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබූ ඉඩම් 90%කට වඩා නිදහස් කිරීම ආරම්භ කළේ තමන් ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදී බව පැවසු ජනධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කළේ, ඉදිරි කාලයේ දී තවදුරටත් ඉතිරිව තිබෙන ඉඩම් නිදහස් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.