Image

පේදුරුතුඩුව මූලික රෝහලේ සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයට මුල්ගල තබයි

පේදුරුතුඩුව මූලික රෝහලේ  සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයට මුල්ගල තබයි

යාපනය දිස්ත්‍රික්කයේ, පේදුරුතුඩුව මූලික රෝහලේ සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් රුපියල් මිලියන 212ක මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් ඉදිකිරීමට යෝජිත සිව්මහල් නව හෙද නිල නිවාස සංකීර්ණය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කළේ ය.

 WhatsApp Image 2026 09 21 at 4.12.14 PM

 

හෙද කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට නේවාසික පහසුකම්

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ උතුරු පළාත් සභාවේ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. නව නිල නිවාස සංකීර්ණය තුළ හෙද කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට නේවාසික පහසුකම් සැලසීමට නියමිත අතර, එහි ඉදිකිරීම් එළැඹෙන වර්ෂයේ ජූලි මාසය වන විට අවසන් කිරීමට ද  සැලසුම් කර ඇත.

WhatsApp Image 2026 09 21 at 4.14.10 PM

පේදුරුතුඩුව මූලික රෝහලේ සේවයේ නිරත හෙද කාර්යමණ්ඩලය  සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැතිවීම හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා පැවති ගැටලු රැසකට ස්ථිර විසඳුමක් ලබාදීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ. රෝගී සත්කාර සේවාවේ අඛණ්ඩ පැවැත්ම සඳහා සෘජු වගකීමක් දරන හෙද කාර්ය මණ්ඩලයට සේවා ස්ථානය ආසන්නයේ විධිමත් හා සුරක්ෂිත නේවාසික පහසුකම් සැලසීම, ඔවුන්ගේ සේවා පරිසරය ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි හා අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී කාර්යක්ෂමව සේවයට ප්‍රවේශ වීමට ද වැදගත් පසුබිමක්  මෙමගින්  සකස් වනු ඇත. විශේෂයෙන්ම දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණ සේවය කරන හෙද නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැලසීම තුළින් ඔවුන්ගේ රාජකාරි කටයුතු සඳහා වඩාත් යෝග්‍ය පරිසරයක් නිර්මාණය වන අතර, රෝහල්  ප්‍රතිකාර, සත්කාර සේවාවන්හි අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය මානව සම්පත රෝහල් පරිශ්‍රයට ආසන්නව රඳවා ගැනීමටද හැකියාව ලැබේ.

 

උතුරු පළාතට සෞඛ්‍ය පුනරුදයක්

WhatsApp Image 2026 09 21 at 4.12.08 PM

මුල්ගල තැබීමෙන්  අනතුරුව පැවති උත්සව අවස්ථාවේ දී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  “උතුරු පළාතට සෞඛ්‍ය පුනරුදයක්” ගෙන ඒම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කළ වැඩසටහන් මාලාවේ සිව්වන දිනයේ අවසන් වැඩසටහන ලෙස මෙම අවස්ථාව පැවැත්වෙන බව පැවසී ය.

මෙම වැඩසටහන් මාලාව පසුගියදා  ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600ක වටිනාකමකින් යුත් සිව් මහල් හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීමෙන් ආරම්භ වූ බව ද අමාත්‍යවරයා පැවසීය. පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 600ක ආධාරයක් ඉන්දියානු රජයෙන් ලැබුණු බවත්, එම පහසුකම සඳහා අවශ්‍ය උපකරණ සපයා දීමට ශ්‍රී ලංකා රජය විසින් තවත් රුපියල් මිලියන 150ක මුදලක් වැය කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේ ය. එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600කට ආසන්න වටිනාකමකින් යුත් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීම ඇතුළු සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු රැසක් මෙම වැඩසටහන් මාලාව යටතේ ක්‍රියාත්මක කළ බවද අමාත්‍යවරයා පැවසීය. ඒ සදහා  අවශ්‍ය උපකරණ ලබා ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජය විසින් වැය කිරීමට කටයුතු කරන බවද  සඳහන් කළේ ය.

 

සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන දහසකට අධික මුදලක්

WhatsApp Image 2026 09 21 at 4.12.10 PM 1

උතුරු පළාතේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ නිරත මානව සම්පතෙහි යටිතල පහසුකම්  ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය නිල නිවාස පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ද මෙම වැඩසටහන් මාලාවට සමගාමීව සිදු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය. ඒ අනුව කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය නිල නිවාස සංකීර්ණය, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ දෙමහල් හෙද නිල නිවාස සංකීර්ණය, චාවකච්චේරි මූලික රෝහලේ ඖෂධ ගබඩාව සහ සිව් මහල් නිල නිවාස සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම සිදු කළ අතර, පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සඳහා සිව් මහල් නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටද මුල්ගල තැබූ බව පැවසී ය. මීට අමතරව, තෙලිප්පලෙයි මූලික රෝහලේ  ඉදිකරන ලද සිව් මහල් වෛද්‍ය නිල නිවාස සංකීර්ණය රෝහල වෙත භාරදීමටද කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන දහසකට අධික මුදලක් ආයෝජනය කරන බවද අවධාරණය කළේ ය.

 

කයිතඩි සහ මුලතිව් ප්‍රදේශවල නව තැපැල් කාර්යාල දෙකක් ජනතා සේවයට

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය මානව සම්පත් සපුරාලීම කෙරෙහිද විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, උතුරු පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්  සඳහා සෞඛ්‍ය කාර්ය සහායකයින් 300 දෙනෙකුද, යාපනය ශික්ෂණ රෝහල සහ යාපනය හෙද විදුහල ට තවත් සෞඛ්‍ය කාර්ය සහායකයින් 50 දෙනෙකුද ඇතුළුව 350 දෙනෙකු බඳවා ගැනීම සඳහා පත්වීම් ලබාදීමට කටයුතු කළ බවද පැවසී ය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තැපැල් දෙපාර්තමේන්තුවද පවතින බැවින්, උතුරු පළාතේ ජනතාවගේ තැපැල් සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා කයිතඩි සහ මුලතිව් ප්‍රදේශවල නව තැපැල් කාර්යාල දෙකක් ජනතා සේවයට එක් කිරීමටත්, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ තැපැල් කාර්යාලයක් විවෘත කිරීමටත් කටයුතු කළ බව පැවසීය. මීට අමතරව පුතුකුඩියිරුප්පු ප්‍රදේශයේ නව තැපැල් කාර්යාලයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමටද කටයුතු කළ බවත්, මෙම තැපැල් සේවා සංවර්ධන කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 110ක මුදලක් වැය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම සියලු සංවර්ධන කටයුතු සඳහා වැය කරනු ලබන්නේ මෙරට ජනතාව බදු මුදල් ලෙස රජයට ලබාදෙන මහජන මුදල් බව අවධාරණය කළ අමාත්‍යවරයා, මධ්‍යම රජය සහ පළාත් සභා මට්ටමින් එම මහජන මුදල් වැය කරනු ලබන්නේ ජනතාවට වඩාත් සුවපහසු, ගුණාත්මක හා අර්ථවත් ජීවන පරිසරයක් උරුම කර දීමේ අරමුණින් බවද පැවසී ය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත්, සංගමන්කන්ද තුඩුවේ සිට කොළඹ දක්වාත්, මෙරට ජීවත්වන මිලියන 22කට ආසන්න ජනතාවට වඩාත් සුවපහසු, ගෞරවාන්විත හා ගුණාත්මක ජීවිතයක් උරුම කරදීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලන අධිකාරියත්, රාජ්‍ය සේවයත් එක්ව දිවා රාත්‍රී නොතකා කැපවෙමින් කටයුතු කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

 

ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්

WhatsApp Image 2026 09 21 at 4.12.12 PM 1

මෙම ව්‍යාපෘතිය මගින් රෝහල් කාර්ය මණ්ඩලයේ සේවා පරිසරය වඩාත් ශක්තිමත් කිරීමත් සමඟ පේදුරුතුඩුව මූලික රෝහලේ ප්‍රතිකාර හා රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම තවදුරටත් ශක්තිමත් වන අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා දායකත්වයක් ලැබෙනු ඇත.

මුල්ගල තැබීම වෙනුවෙන් පැවති උත්සවයෙන්  අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහි දී ප්‍රතිකාර, සත්කාර සේවා ක්‍රියාත්මකවන ආකාරය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රෝහලේ පවතින සේවා අවශ්‍යතා හා ගැටලු පිළිබඳවද විමසා බැලීය. එමෙන්ම, රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සුහද සාකච්ඡාවක නිරත වෙමින් ඔවුන් මුහුණ දෙන රාජකාරිමය ගැටලු සහ සේවා අවශ්‍යතා පිළිබඳවද දීර්ඝව කරුණු විමසීය.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් , පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා,

යාපනය  දිස්ත්‍රික් ලේකම්  එම්. ප්‍රදීපන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනූජා මුරුගේසන්, පළාත් සෞඛ්‍ය ලේකම් ජෙයරාණි පරමෝදයන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. කේතීස්වරන්, යාපනය ශික්ෂණ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමුර්ති, පේදුරුතුඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි  වෛද්‍ය ටී.නාගදීපන් යන අය මෙන්ම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ අනෙකුත් සියලු වෘත්තීන් නියෝජනය කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2026 09 21 at 4.12.03 PM

WhatsApp Image 2026 09 21 at 4.12.05 PM 2

මාධ්‍ය අංශය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය                                                

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න