ඒකාබද්ධයේ බෙදීමක් : ප්‍රසන්න කුණුහරුපයෙන් බැනවදී !

ඒකාබද්ධයේ බෙදීමක් : ප්‍රසන්න කුණුහරුපයෙන් බැනවදී !

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාස භංගයත් සමග ඒකාබද්ධ විපක්ෂයේ බරපතල මත ගැටුම් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ වනවිට එම තත්වය උත්සන්න වී ඇති අතර විශ්වාස භංග යෝජනාව බාර දීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා නම් ගම් සඳහන් නොකරමින් ප්‍රසිද්ධියේ කුණුහරුපයෙන් බැණ වැදීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.

ඔහු එසේ බැනවැදී ඇත්තේ ඔහු විසින් පසුගියදා (20) ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කල ප්‍රකාශයක් ඒකාබද්ධ විපක්ෂයේ නායකයකුගේ පුවත් වෙබ් අඩවියක විකෘතිකර පළකර ඇතයි දෝශාරෝපනය කරමිනි.

 බැසිල්ගේ කුමන්ත්‍රණයක් ?

 මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා සහ ආණ්ඩුවෙන් මෑතකදී ඒකාබද්ධයට එක්වූ නිමල් ලන්සා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ගේ සැකයට ලක්ව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයක් නොලැබෙන තත්වයක් තුල අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාස භංගය පරාජයවීම නියතයක් යයි පෙරේදා (20) පැවති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් දෙදෙනා කල ප්‍රකාශ එම සැකයට හේතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දක්වා ඇති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු පවසා ඇත්තේ, බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයින් විශ්වාස භංගයට එරෙහිව කුමන්ත්‍රණයක නිරතව සිටින බවයි.

පෙරේදා (20) පැවති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීම අතරතුරදී ප්‍රසන්න රණතුංග හා නිමල් ලන්සා, ශ්‍රීලනිප ඇමතිවරුන් වෙත දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔවුන් විශ්වාසභංගයට සහය දෙන්නේදැයි විමසා සිටි බවත්, විශ්වාස භංගයට ඔවුන් කිසිවකුගේ හෝ සහය නොලැබෙන බව ප්‍රසිද්ධියේ පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙල අඩාල කිරීමේ මෙහෙයුමක් දියත්කල බවත් එම වෙබ් අඩවිය වාර්තා කරයි.

 'අපට ගැහුවේ රනිල්' - මහින්දානන්ද

මෙම විශ්වාස භංගය හරහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තව තවත් දේශපාලනිකව ශක්තිමත් වන බව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එහිදී අවධානය කර ඇත.

මෙහිදී ප්‍රසන්න රණතුංග මහතාගේ ස්ථාවරය සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විරෝධයක් මතුකර තිබේ.

'' මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලුවේ රනිල්. අපේ පක්ෂයේ නායකයින් හිරේ විලංගුවේ දැම්මේ රනිල්. රට පාවාදෙන්නේ රනිල්. එහෙව් රනිල් පරද්දන්න ලැබුන අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනා. ..'' යයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර තිබේ.

විමල්ගේ වෙබ් පුවතින් ප්‍රසන්න තිගැස්සේ !

මෙම ගැටුම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ පුවත් වෙබ් අඩවියේ පළවීමෙන් අනතුරුව වහාම එදිනම (20) මාධ්‍ය නිවේදනයක් නිකුත්කළ ප්‍රසන්න රණතුංග මහතා, ''රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම ආණ්ඩුව ඉවත් කිරීම අද දවසේ ප්‍රමුඛ කාර්ය බව ඒකාබද්ධයේ අපි විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව'' සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධයේ කිසිඳු බෙදීමක් නොමැති බවත් ඔහු පවසයි.

කෙසේවුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයට එජාප හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේද අත්සන් නොලැබුනහොත් එය ඉදිරිපත් කිරීමෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි වනු ඇති බව ප්‍රසන්න රණතුංග මහතා සිය නිවේදනය මගින් යලි අවධාරණය කර තිබේ.

ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වෙයි.

'අපේක්‍ෂිත ප්‍රතිඵල අත් නොවනු ඇත'

''අද උදෑසන පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 04 රේදී පැවති ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පෙර මා රැස්ව සිටි පිරිසට පැහැදිලි කලේ මේ විශ්වාස භංග යෝජනාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද අත්සන් ඇතුලත් කර ගත යුතු බවය.

නොඑසේ නම් මෙම විශ්වාස භංගයෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල අත් නොවනු ඇතැයි මම සැක පල කලෙමි.

මෙම විශ්වාස භංගයට සහාය දෙන බව ශ්‍රී.ල.නි.ප. හා එ.ජා.ප. මන්ත්‍රීවරුන් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එය ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කල යුතු බවත් මම අවධාරණය කලෙමි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න