ජනාධිපතිගෙන් ප්‍රතිචාරයක් නෑ : "විසෙන් විස නසන්න" රතන ගෝඨා වෙත වඩියි

ජනාධිපතිගෙන් ප්‍රතිචාරයක් නෑ : "විසෙන් විස නසන්න" රතන ගෝඨා වෙත වඩියි

වස විස නොමැති කාබනික කෘෂිකර්මය වෙනුවෙන් වන ප්‍රතිපත්තියට එරෙහිව ආණ්ඩුව කටයුතු කළහොත් තමන් දැඩි තීන්දුවක් ගන්නා බව අතුරලියේ රතන හිමියන් සඳහන් කර තිබේ.

සිය හිතවතුන් මාර්ගයෙන් මේ බව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට රතන හිමියන් කටයුතු කර ඇතත් ඒ සම්බන්ධව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද වාර්තා වෙයි.

2018 යල කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර සැපයීමට ආණ්ඩුව තීරණය කිරීමත් ග්ලයිෆෝසෙට් ඇතුළු වල් නාශක කිහිපයකට අදාළ තහනම ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය රතන හිමියන්ගේ විරෝධයට මුලික වී ඇත.

ඒ සම්බන්ධව අවස්ථා ගණනකදී රතන හිමියන් ආණ්ඩුව විවේචනය කළ අතර අදාළ ප්‍රතිපත්තිය වෙනස් නොකළහොත් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බවද පවසන්නට යෙදුණි.

ඒකාබද්ධ පෙරහැරට එකතුවෙනවා

මේ බව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද අවධාරණය කරන්නට රතන හිමියන් කටයුතු කල අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒකාබද්ධ විපක්ෂය තමන්ගේ ප්‍රතිපත්තිය පිළිගන්නවා නම් ඒ පෙරහැරට එකතුවීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවය.

විසෙන් විස නසන්න රතන ගෝඨාට එකතු වෙයි !

එසේම තමන් ඉදිරියේදී "විසෙන් විස නසන්න" වෙනස් දේශපාලන තීන්දුවක් ගන්නා බව රතන හිමියන් සිය හිතවතුන් සමඟ පවසා ඇති බවද වාර්තා වන අතර එහිදී ජනාධිපතිවරයා යටතේ පිහිටුවා ඇති ජාතික ආර්ථික සභාව රතන හිමියන්ගේ දැඩි විවේචනයට ලක්වූ බවද වාර්තා වෙයි.

එහිදී රතන හිමියන් සඳහන් කර ඇත්තේ ජාතික ආර්ථික සභාව දන්නා ආර්ථිකයක් නොමැති බවත් එය ජාතික ආර්ථිකය විනාශ කරන ඇමරිකානු හස්තයක් බවය.

එසේම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රතන හිමියන් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ සමඟ දේශපාලනය කිරීමට වැඩි ඉඩක් පවතින බවය. කාලයක පටන් රතන හිමියන් ඔහු සමඟ සමීපව සිටින බවත් වස විස ප්‍රශ්නය මුල්කරගෙන ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචනයක් ගෙන එන්නට රතන හිමි කටයුතු කරන්නේ ඒ අනුව බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

යල කන්නයට රසායනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

මේ අතර 2018 යල කන්නයේ වී වගාව සඳහා, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) මඟින් බෙදා හැරීමට අවශ්‍ය රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අනුමැතිය ලබාදී ඇත.

එසේම ඒ සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවනු ලැබීමටද අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා වන කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක විසින්ය.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, යූරියා - ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 307.18 බැගින් මෙට්‍රික් ටොන් 24,000ක් M/s. Ameropa Asia (Pvt) Ltd. වෙතින්ද, ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 333.5 බැගින් මෙට්‍රික් ටොන් 18,000ක් M/s. Agri Commodities & Finance FZE වෙතින්ද මිලදී ගැනීමටත්, මියු‍රියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 315.85 බැගින් මෙට්‍රික් ටොන් 18,000ක් M/s. Agricultural Resources and Investment (Pte) Ltd. වෙතින් මිල දී ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ග්ලයිෆෝසෙට් ගැන ආණ්ඩුවේ මත දෙකක්

මේ අතර තේ කර්මාන්තය ඇතුළු වැවිලි ක්ෂේත්‍රයේ මතුව තිබෙන දැඩි ඉල්ලීමට සවන්දී ග්ලයිෆෝසෙට් වල් නාශකයට අදාළ තහනම ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වෙයි.

ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කල යුතු බවට ජනාධිපතිවරයා යටතේ ස්ථාපිත කර තිබෙන ජාතික ආර්ථික සභාවද නිර්දේශ කර ඇති බව පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකද මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේය.

එසේම මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකද සඳහන් කර සිටියේ ග්ලයිෆෝසෙට් වල් නාශක ලයිස්තුවේ කොළ වර්ගීකරණය යටතේ තිබෙන බැවින් අධි හානිකර රසායනයක් නොවන බවට විශේෂඥ කමිටු නිර්දේශයක් ලැබී තිබෙන බවය.

කෙසේ නමුත් ඊයේ (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කර සිටියේ තමන් පෞද්ගලිකව ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කිරීමට විරුද්ධ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න