චීන්නුන්ගේ සැකකටයුතු කෝටි 95ක් පෑන් ඒෂියා බැංකුවේ

චීන්නුන්ගේ සැකකටයුතු කෝටි 95ක් පෑන් ඒෂියා බැංකුවේ

 චීන ජාතිකයන් තිදෙනෙකු විසින් පෑන් ඒෂියා බැංකුවේ පවත්වාගෙන යන ගිණුමක රුපියල් කෝටි 95කට අධික මුදලක් සැකසහිත ලෙස තැන්පත් කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (20) කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ප්‍රගතිය දැනුම් දෙන ලෙසත්, එතෙක් නඩුව බහා තබන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත.

ඩයන් ෂෑන්ග් නම් චීන ජාතිකයා පෑන් ඒෂියා බැංකුවේ රුපියල් කෝටි 36ට අධික මුදලකුත්, බින්ග් ෂෑන්ග් නම් චීන ජාතිකයා රුපියල් කෝටි 20කට අධික මුදලකුත්, වෙන්ඩි ලියු නමැති චීන ජාතිකයා රුපියල් කෝටි 39කට අධික මුදලකුත් මෙසේ තැන්පත් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ ගිණුම පවත්වාගෙන යන චීන ජාතිකයන් තිදෙනා පිළිවෙළින් කරණවෑමියකු, භාෂා පරිවර්තකයකු සහ සමාගම් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන බව බැංකුවට දැනුම් දී ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට පවසා ඇත.

පෑන් ඒෂියා බැංකුවේ සහකාර කළමනාකාර මිලින්ද බණ්ඩාර දසනායක මහතා ප්‍රයිවට් බෑන්කින් අංශයේ මේ ගිණුම් 2018 ජනවාරි 03 දින ආරම්භ කර ඇති බවට 2018 මාර්තු 09 දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත.

මැණික් ව්‍යාපාරයකින් ලැබුන මුදලක් ලු !

ජේ.ඩී.ඉන්ටර්නැෂනල් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන ලියු ජින් නමැත්තා විසින් වෙන්ඩි ලියු නම් චීන ජාතිකයා බැංකුවට හඳුන්වා දුන් බවත්, අවුන්ඩි ලියු නම් තැනැත්තා අනෙක් දෙදෙනා හඳුන්වා දුන් බවත් සහකාර කළමනාකාරවරයා පවසා තිබේ.

මේ පුද්ගලයන් මුදල් තැන්පත් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීමේදී මැණික් ව්‍යාපාරයකින් ලැබෙන මුදලකින් එම මුදල් ලැබෙන බව බැංකුවට පවසා තිබේ.

මේ චීන ජාතිකයන් තිදෙනා ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටින බවද අනාවරණය වී ඇත.

ගිණුම් සම්බන්ධයෙන් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මේ විමර්ශන ආරම්භ කර ඇත.

(රැස)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න