Language Switcher

V2025

හදිසි වෙන්න පෙර කියවන්න !

කවර හේතුවක් මත වුවද පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම අතිශ්‍ය මේලේච්ඡ සහ තිරිසන් ක්‍රියාවක්. මෙය එදත් අදත් හෙටත් ඉස්ලාම් අන්තවාදයේ ස්වරූපය බවට සැකයක් නැහැ.

මේ සිදුවීමෙන් අපටත් ඉගෙනීමට බොහෝ දේ තිබෙනවා. මේ කුරිරු හා සාහසික ඝාතනයත් සමග ඉස්ලාමය සහ පකිස්ථානය ඇතුළු මුස්ලිම් රටවල් දෙස බොහෝ දෙනෙක් බලන්නේ කිසිදු පැහැදීමකින් තොරව බව අවිවාදිතයි.

අවිහිංසාවාදි ආගමක් ලෙස ලෝකයම පිළිගන්නා බුදු දහම ප්‍රධාන ආගම කොටගත් ලංකාවේද මෙවැනි අමානුෂික ඝාතන නොවූවද ආගම වෙනුවෙන් යැයි කියන සාහසික හැසිරීම් අප කෙතෙක් දැක ඇත්ද? අළුත්ගම ධර්ගා නගරයේ සිදුවීම වැනි අවස්ථා මෙන්ම තලේබාන් පන්නයට හැඩගැසී ඇති ඇතැම් භික්ෂූන්ගේද, බෞද්ධ යැයි කියාගත් ත්‍රස්ත වෙස්ගත් පිරිස්ගේද ප්‍රචණ්ඩ හැසිරීම් බෞද්ධාගම මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙරෙහි ඉතා නරක ලෙස බලපා තිබෙන්නක්.

අද අප ඉස්ලාමය හෝ පාකිස්ථානය දෙස බලන්නේ කෙසේද, එලෙසම අදාළ අවස්ථාවල අනෙකුත් ආගමිකයන් හා රටවල් බෞද්ධාගම සහ ශ්‍රී ලංකාව දෙස බලන්නේද ඒ ආකාරයටම බවට සැක නැහැ.

1983 කළු ජුලිය යනු ජාතිය පදනම් කරගත්තක් වූවත් එය ශ්‍රී ලංකාවට අදත් කළු පැල්ලමක්. බ්‍රිතාන්‍ය, කැනඩාව වැනි රටවල් අදත් ශ්‍රී ලංකාව සම්බන්ධ තීරණාත්මක සංධිස්ථානවලදී ලෑන්ඩ්මාර්ක් එකක් බවට පත්කර ගන්නේ එයයි.

කෙසේවෙතත් බටහිර ජාතිකයන් සමග යම් අදහස් හුවමාරු කරගැනීමකදී බෞද්ධාගම ගැන කෙරෙන සඳහනකදී මාගේ පෞද්ගලික අත්දැකීම නම් ඔවුන් සෑම විටම කියන එක් දෙයකි. ඒ "I love Buddhism” හෝ "I like Buddhism” යන්නයි. අනතුරුව ඔවුන් කියන්නේ බෞද්ධාගම නිසා තමන් ශ්‍රී ලංකාවට කැමති බවයි. (මේ අත්දකීම විදෙස්ගත බොහෝ දෙනෙකුට ඇතැයි සිතමි) තම රටටවිත් සිටින ඇතැම් ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් දකින නිසාම ඔවුන්ට මේ ආකාර හැඟීමක් දැනෙනවා විය හැකියි.

අපේ ඇතැම් අන්තවාදී සහ වර්ගවාදි භික්ෂූන් ඇතුළු ඇතැම් කණ්ඩායම් රටට අහිමි කරන්නේ ශ්‍රී ලංකාවට හිමිව ඇති ගෞරවණීය සම්භාවනාවයි. මෙවැනි සිදුවීමකින් අනාගතයට ගත යුතුවන්නේ එවැනි තත්ත්වයත්ගෙන් වැළකෙන්නේ කෙසේද යන්නයි.

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මේ සිදුවීම හෙළා දැක කඩිනමින් ක්‍රියාත්මක වීමද අගය කළ යුත්තක් වන අතරම ඔහු බටහිර සමග ඇති සම්බන්ධයත් සමයාන්තර ආගමික බලපෑමත් ඊට හේතු වූවා විය හැකිය. අපේ රටේ අන්තවාදි නායකයන්ද ගතයුතු මග වන්නේද එයයි.

මහින්ද රුබසිංහ