ජාතික පොලිස් කොමිසමේ ලේකම් ඉවත් කිරීම පිටුපස දේශපාලන හස්තයක්

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ඉවත් කිරීම පිටුපස දේශපාලන හස්තයක්

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ එම ධූරයෙන් ඉවත්කර ඇත්තේ පසුගිය දා තෙල්දෙණිය හා දිගන ඇති වු ගැටුම් සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකාරීත්වය පිළිබද පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලු නිසා බව වාර්තා වෙයි.

කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව තෙල්දෙණිය ගැටුම් පිළිබදව ස්වාධීන විමර්ශනයක් සිදුකිරීමට උත්සහ දැරීම වලක්වා ගැනීමට දේශපාලන නායකත්වයේ බලපෑම මත මෙය සිදුව ඇති බවයි.

ආරියදාස කුරේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ කොන්ත්‍රාත් පදනමින් වන අතර ඔහුගේ සේවා කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2018 සැප්තැම්බර් 30 වනදා ය.

මේ සම්බන්ධව කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ව තිබේ.

පොලිසියේ අකාර්යක්ෂමතාව

පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් තෙල්දෙණිය හා දිගන ගැටුම් උත්සන්න වූ බව මේ වන විට විවෘත රහසකි. කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් ගැටුමට පසුදින මේ පිළිබද අදහස් දැක්වූ අතර සිද්ධියේ දී පොලිස් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව පිළිබද විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය. ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, හලීම් යන අමාත්‍යවරුන් ද, පා.ම. දිළුම් අමුණුගම හා යුධ හමුදාපතිවරයා ද පැවසූවේ පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් ගැටුම් වර්ධනය වූ බවයි.

අගමැතිටත් චෝදනා

ප්‍ර‍හාරය වර්ධනය වන තෙක් පොලීසිය එයට ඉඩ දී බලා සිටි බවට පොදු මතයක් රට තුල පවතින අතර මේ පිළිබද පොලිස් කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ගණනාවක් ඉදිරිපත් වී තිබුණි. (කැෆේ සංවිධානයේ ඉල්ලීම මේ සමග අමුණා ඇත) අම්පාර හා තෙල්දෙණිය සිදුවීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද පොලිසියට චෝදනා කර තිබුණි. පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා මේ පිළිබද පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි අතර ඒ පිළිබද ප්‍ර‍මුඛ දේශපාලනඥයින්ගේ නොකැමැත්ත පළ වී තිබුණි. මෙම අර්බුදය හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමේ සුදානමක් පවතින බව ද, අප වෙත දැනගන්නට ඇත.

පොලිස් කොමිසම දේශපාලනීකරණය වෙලා !

දේශපාලන අතපෙවීම් හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩි පීඩනයකට ලක්වී ඇති අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සභාපති ධූරයෙන් ඉවත්වීමෙන් පසුව දේශපාලන අවශ්‍යතාව මත එහි කටයුතු සිදුවන බවට චෝදනා එල්ල විය. දිගු කලක් සැගවී තිබූ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත එල්ලවන දේශපාලන බලපෑම් පිළිබද ආරියදාස කුරේ මහතා ඉවත් කිරීමත් සමග සමාජ අවධානය යොමුවී ඇත. ස්වාධීන කොමිෂන් සභා සදහා එල්ලවන බලපෑම් පිළිබද සමාජ කතිකාවක් ආරම්භ කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න