Language Switcher

V2025

වැඩියෙන් විදපු සයිනොෆාම් ගැන ලංකා වෛද්‍ය සංගමයෙන් අනාවරණයක් !

කොවිඩ් වසංගතයට එරෙහිව භාවිතා කරන සයිනොෆාම් දෙවැනි එන්නතත් ලබාදීමෙන් මාස තුනකට පසුව අදාළ ප්‍රතිශක්තිකරණ ශක්තිය හීන වන බව මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හෙළිදරව් කළ බව මාධ්‍ය විසින් අද (02) වාර්තා කර තිබේ.

මෙරට හා විදේශයන් හි සිදුකරන පුළුල් පරීක්‍ෂණ මගින් මේ බැව් සනාථ වන බව විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මෙහිදී පෙන්වා දී ඇත.

එබැවින් පවතින තත්වය හමුවේ ඔහු අවධාරණය කළේ අදාළ එන්නත ලබාදුන් අයට තෙවැනි එන්නතද ලබාදිය යුතු බවයි.

මේ වනවිට ලංකාවේ වැඩිම පිරිසකට ලබා දී ඇති සයිනොෆාම් එන්නත චීනයේ නිෂ්පාදනයකි. සයිනොෆාම් එන්නත පිළිබඳව ආරම්භයේ සිටම ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ කුකුසට ලක් වූයේය.

ෆයිසර්, මොඩර්නා වැනි එන්නත් කෙරේ ඔවුන් වැඩි විශ්වාසයක් තැබුවේ ජාත්‍යන්තර නිර්ණායකයන්ද උපුටා දක්වමිනි.

තම රටට පැමිණිමේදී ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාගත් බවට අනිවාර්ය සහතිකයක් අවශ්‍ය බැව් බඛෝ රජයන් විසින් මේ වනවිටත් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. මේ නිසා ලංකාවේද පාසැල් සිසුන්ට එන්නත්කරණයට යොමු කිරීමේදී අදාළ ෆයිසර් එන්නත පමණක්ම ලබාදිය යුතු බවට රැල්ලක් නිර්මාණය වෙමින් පවතින විට ආණ්ඩුව එම පියවර ගන්නට කටයුතු කළේය.

මේ අතර බොහෝ රටවල් ෆයිසර් එන්නතේද තෙවැනි මාත්‍රාවක් ලබාදීමට කටයුතු කර තිබේ.

කොවිඩ් රෝගය මැඩලීමේදී ජනාධිපතිවරයා හා වෘත්තිකයන් අතර තිබුන සහසම්බන්ධය දේශපාලඥයන්ගේ විවිධ ප්‍රකාශ හා ක්‍රියායාකාරකම් මැද බිඳි ගියේද මෙවැනි පසුබිමක් ජාත්‍යන්තරයේ තිබියදීය. පළමු එන්නත් වාරයක පමණක් ලබාගන්නට එකඟවන බවට ලිපි අදාළ එන්නත්කරණයට බඳුන්වන ජනතාවගෙන් ලබාගැනීම්, දේශපාලඥයන්ගේ ඍජු මැදිහත්වීම් මැද එන්නත්කරණය අඩාල වූ අවස්ථා, එන්නත්කරණයට සැලසුම් කර තිබූ සීමාවන් බිඳ දමා කොළඹ සිට අදාළ දුරස්ථ ප්‍රදේශ වලට ගොස් දේශපාලන බලවතුන් හා හිතවතුන් විසින් එන්නත් ලබාගැනීම් ආදි සිදුවීම් පසුගිය කාල‍යේ දිගින් දිගටම වාර්තා විය.

මේ තත්වය මත වෘත්තිකයන් මෙම කො‍රෝනා මර්දන ක්‍රියාවලියෙන් ඈත් වූ අතර, සමහර වෘත්තිකයෝ ලංකාවෙන් බැහැරව වූහ.

අද වනවිට කොවිඞ් රෝගය කිසියම් මට්ටමකට පාලනය වූ ස්වභාවයක් දැකිය හැකි වුවද, එය කිසිසේත්ම පරාජය කළ හැකි ආකාරයට මෙල්ල වී නැත. පසුගිය දා පාසැල් ඇරඹීමත් සමග පාසැල් දෙකකින් කොවිඩ් රෝගීන් වාර්තා වීම මෙයට කදිම නිදසුනකි.

එබැවින් අදාළ වෘත්තිකයන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වීම වඩාත් ආරක්ෂාකාරි බව පැහැදිලිය.

(Headline news )