අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාව සඳහා තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළු නායකයන් අත්සන් තබන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
මාධ්‍ය හමුවේ හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කල අතර එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලටද ඔහු පිළිතුරු සපයා තිබිණ.
ප්‍ර : කොහොමද ඔබතුමාලා මේක ජයග්‍රහණය කරන්නේ?
පි : ඉන්නකෝ බලාගෙන ජයග්‍රහණය කරන හැටි
ප්‍ර : ඔබතුමාත් මේ සඳහා අත්සන් කරනවද ?
පි : ඔව්. ඉතිං ඒවා තීන්දු කරන්න ඕනනේ. අපි තීන්දු කරලා තියෙන්නෙ ඒවා.
ඔබතුමාගේ අත්සන ජයග්‍රහණයට හයියක් - ඒකාබද්ධ නායකයින් මහින්දට කියලා
එසේම මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසී ඔහු විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබිය යුතු බවත් එය විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට වැදගත් වන බව අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.
එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තවමත් රැඳීසිට විශ්වාසභංග යෝජනාවට සහය දීමට අපේක්ෂාවෙන් සිටින පාර්ශවයට එය ධෛර්යයක් වන බවය.
එන්න ඉන්න අයට ගහන්න එපා කියන්න - ඒකාබද්ධ මන්ත්‍රීලා මහින්දගෙන් ඉල්ලයි
මේ අතර ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රීලනිප සාමාජිකයන් භේදයකින් තොරව පක්ෂයට එකතුකර ගත යුතු බවටද යෝජනාවක් හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කර තිබෙන අතර එය පක්ෂයේ ඉදිරි කටයුතු වලට ශක්තියක් බවද ඔවුන් පෙන්වාදී ඇති බව වාර්තා වෙයි.
තවද පෞද්ගලික කාරනා පදනම් කරගෙන ආණ්ඩුවේ සිටින තමන්ට හිතවාදී පිරිස් විවේචනය කිරීම කඩිනමින් අවසන් කල යුතු බවත් හිටපු ජනාධිපතිවරයා යටතේ ඒ සියළු දෙනා එකතුකර පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් සෑදීම හැර වෙනත් සියළු කාරනා පසෙක තැබිය යුතු බවද එහිදී ඔවුන් හිටපු ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කර ඇති බවද සඳහන් වේ.

