වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතයක් ඉවරයි ?

වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතයක් ඉවරයි ?

වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතය දිනෙන් දින වැනසෙමින් තර්ජනයට ලක්ව ඇති බව ,, මිහිකත සුරැකීමේ කාර්යංශ ලේකම් පේශල පසන් කරුණාරත්න පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව අනාවරණය කරන අතර ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තුන්දොල ග්‍රාමසේවා වසමතුල පිහිටා ඇති පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ “පුස්සවල දොළ” නමින් හඳුන්වන දොළ මාර්ගය, ඉහල කඳුපන්ති වල ඇති උල්පත් වලින් ආරම්භ වී ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින්, අවට පරිසර පද්ධතියට ජීවය දෙමින්, අලංකාරවත් දිය ඇල්ලක්ද නිර්මාණය කරමින් පහලට ගලාගොස් බෙන්තර ගංගාව පෝෂණය කරයි.

ඉතාම වටිනා පරිසර පද්ධතියකයට උරුමකම් කියනා මෙම පුස්සවල දොළ දෙපස ඇති රක්ෂිත ප්‍රදේශයේ විශාල ගස් වැල් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කරමින් කපාදමා දැවැන්ත විනාශයක් සිදු කර ඇත. බිම හෙලා ඇති ඇතැම් ගස් වල කොටස් එම ස්ථානයේ සිටම කැබලිකර ඉරා රැගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට හැකිවේ. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම විනාශකාරී ක්‍රියාවන් වගකිවයුතු ආයතන වල කිසිඳු අවසරයකින් තොරව හොර රහසේ සිදුකර තිබේ.

දොළ මාර්ගයක් දෙපස ඇති රක්ෂිතයක් තුල කිසිඳු අයෙකුට හිතුමනාපයට මෙවැනි විනාශකාරී ක්‍රියා සිදු කල නොහැකි අතර යම් ක්‍රියාවලියක් සිදුකරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවකින් අවසර ලබා ගැනීම කල යුතු වේ. එමෙන්ම මෙලෙස විනාශ කර ඇති භුමිය තුල දුර්ලභ ශාක විශේෂ ගණානාවක් හමුවන අතර මෙම දොළ මාර්ගය තුල මෙරටට ආවේනික වඳවීයාමේ තර්ජනයට පවා ලක්ව ඇති මත්ස්‍ය විශේෂයන් රැසක්ද දැක ගැනීමට හැකියාව ඇත.

මෙලෙස වටිනා රක්ෂිත භූමියක් විනාශ කිරීමෙන් ඒ ආශ්‍රිතව ජීවත්වන ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට දැඩි තර්ජන ගෙන දෙන අතර දොළ රක්ෂිත පෙදෙසේ වන වැස්ම ඉවත්ව යෑම නිසා ජල පෝෂක ප්‍රදේශය වියලි යෑම සිදුවේ. එම නිසා දොළ මාර්ගයේ ජලය සිඳියෑම පවා සිදුවිය හැකි අතර එය ප්‍රදේශයේ ජල අවශ්‍යතාවයටද දැඩි බලපෑමක් එල්ල කරයි.

විශාල වටිනා කමක් සහිත දොළ රක්ෂිතයක්, මෙලෙස විනාශ කිරීම විශාල පරිසර හානියක් සේම අන් අයට වැරදි පූර්වාදර්ශයක් ද වන නිසා මේ පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු කර හැකි ඉක්මනින්ම මෙම දොළ රක්ෂිතය සංරක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල මිහිකත සුරැකීමේ කාර්යංශය ඉල්ලාසිටී.

{gallery}walallawita{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න