සුදුළුෑණු වංචාවේ තැරැව්කරුවෙක් හිරේ : CID ගැනත් විමර්ශනයක් !

සුදුළුෑණු වංචාවේ තැරැව්කරුවෙක් හිරේ : CID ගැනත් විමර්ශනයක් !

ලංකා සතොස ආයතනයට අයත් සුදුළුෑණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවකු ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් නියෝග කර ඇති බව වාර්තා වෙයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මට්ටක්කුලිය පදිංචි කමල් කුමාර නමැත්තෙකි.

සුදුළුෑණු  වංචාව සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සැකකාර තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සාපරාධී විශ්වාසය කඩ කිරීම, දූෂණයට ආධාර අනුබලදීම යන චෝදනා සම්බන්ධයෙන් පෙරේදා (28) ය.

රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදුලුනු කිලෝ 54,860- ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාපරාධී විශ්වාසය කඩ කළැයි ලංකා සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිර පෙරේරා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබිණී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 26 වැනිදා පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයකු වන වේලායුදම් ශ්‍රීධරන් නැමැත්තා ද ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර ඇත.

CID ගැනත් විමර්ශනයක් !

මේ අතර පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදීත්, එම දැනුම්දීම අනුව කටයුතු නොකළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි.

තවද සුඳුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන ලෙසද අමාත්‍යවරයා විසින් පොලිස්පති වරයාට උපදෙස් ලබා දී ඇති බවටත් මාධ්‍ය වාර්තා පළවෙයි.

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව තීරණය කර තිබුනේ වෙළඳ අමාත්‍යංශය යටතේ පවතින සතොස ආයතනයේ සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් වාර්තා පළ කළ පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් පිලිබඳ තොරතුරුද ඇතුළත්ව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ගොනු කළ පැමිණිල්ලක් අනුවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න