Image

ළමා සාහිත්‍යයේ නූතන ප්‍රවණතා සහ ලේඛක වගකීම

ළමා සාහිත්‍යයේ නූතන ප්‍රවණතා සහ ලේඛක වගකීම

ළමා ලෝකය යනු සුරංගනා කතාවලින්, කතා කරන සතුන් ගෙන් සහ අපූර්ව මනඃකල්පිතවලින් පිරීගිය අසිරිමත් පාරාදීසයකි. බොහෝ දෙනකු සිතන්නේ දරුවකු වෙනුවෙන් පොතක් ලිවීම හෝ විදේශීය කතාවක් තවත් භාෂාවකට නැගීම ඉතා සරල, පහසු කාර්යයක් කියා ය.

නමුත් සැබෑව නම් ළමා සාහිත්‍යය යනු හුදෙක් වචන පෙරළීමක් හෝ බොළඳ වාක්‍ය එකතු කිරීමක් නොවේ. එය දරුවාගේ සුවිශේෂී වර්ධනීය අවධි, සංජානන කුසලතා (Cognitive Skills) සහ මනෝවිද්‍යාත්මක සාධක මත පදනම් වන ස්වාධීන, අන්තර්-විෂයාත්මක ක්ෂේත්‍රයකි. වැඩිහිටියන් ගේ වර්ධන වේගය ස්ථාවර මට්ටමක පවතින විට, ළමයා පසුවන්නේ ශීඝ්‍ර ශාරීරික, සමාජීය, චිත්තවේගීය සහ භාෂාමය වර්ධන වක්‍රයක ය. එම නිසා, දරුවකු වෙනුවෙන් ස්වතන්ත්‍ර නිර්මාණයක් කිරීම, පරිවර්තනයක් කිරීම හෝ අනුවර්තනයක් සිදු කිරීම යනු ඉතා සූක්ෂ්ම ලෙස කළ යුතු ශාස්ත්‍රීය මෙහෙයුමකි. මේ, ස්වතන්ත්‍ර, පරිවර්තන සහ අනුවර්තන ළමා සාහිත්‍යයේ නව මානයන් ඔස්සේ ළමා මනසේ සැඟවුණු රහස් හඳුනා ගැනීමට කෙරෙන සාහිත්‍යයික විමසුමකි.

 ළමා කෘතියක් කෘතියක් සාර්ථකව නිම කරන්නේ කෙසේ ද...?

ළමා සාහිත්‍යය යනු වැඩිහිටි සාහිත්‍යයට වඩා හාත්පසින්ම වෙනස්, සුවිශේෂී වර්ධනීය අවධි සහ මනෝවිද්‍යාත්මක සාධක මත පදනම් වන ක්ෂේත්‍රයකි. සරලව ම පැවසුවහොත් හුදෙක් වැඩිහිටි සාහිත්‍යයේ සරල කළ සංස්කරණයක් නොවේ. එය දරුවා ගේ සුවිශේෂී වර්ධනීය අවධි, සංජානන කුසලතා (Cognitive Skills) සහ මනෝවිද්‍යාත්මක සාධක මත පදනම් වන ස්වාධීන, අන්තර්-විෂයාත්මක ක්ෂේත්‍රයකි. වැඩිහිටියන් ගේ වර්ධන වේගය ස්ථාවර මට්ටමක පවතින විට, ළමයා පසුවන්නේ ශීඝ්‍ර ශාරීරික, සමාජීය, චිත්තවේගීය සහ භාෂාමය වර්ධන වක්‍රයක ය. එම නිසා ළමා මනසට උපරිමයෙන් ආමන්ත්‍රණය කරමින් මෙවැනි කෘතියක් සාර්ථකව නිම කරන්නේ කෙසේද සහ එහි දී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාදැයි අපි විමසා බලමු.

කතුවරයා/කතුවරිය අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු පහක්

ස්වතන්ත්‍ර (ස්වයංනිර්මාණ) ළමා කතාවක් බිහි කිරීමේදී ලේඛකයා දරුවාගේ ලෝකයටම පිවිසිය යුතුය. එහිදී ප්‍රධාන කරුණු පහක් කෙරෙහි කතුවරයා සැලකිලිමත් විය යුතුය.

දරුවන්ගේ වර්ධන පැතිකඩ වයස සමග ශීඝ්‍රයෙන් වෙනස් වේ. අවුරුදු 3–5, 6–8, සහ 9–12 යන කාණ්ඩවල දැනුම් මට්ටම් හා අවධානය රඳවා ගැනීමේ කාලය එකිනෙකට වෙනස්ය. වචන මාලාව, අකුරු ප්‍රමාණය සහ කතාවේ දිග තීරණය කළ යුත්තේ මේ මත පදනම්ව ය.  

ළමා මනස පටලැවිලි සහගත සංකීර්ණ කතා වස්තුවලට තවමත් සූදානම් නැත. කතාව වඩාත් ආකර්ෂණීය වන්නේ ආරම්භය, මැද සහ අවසානය පැහැදිලිව පෙනෙන සෘජු, රේඛීය ගලායාමක් සහිතව සරල චරිත මතු කරන විට ය. චරිත නිර්මාණය කිරීමේ දී දරුවන්ට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි චරිත සංකීර්ණ නොවන ඒවා විය යුතු ය. කථා වස්තුව වඩාත් සංකීර්ණ හෝ පටලැවිලි සහගත නොවන, දරුවා ගේ මනසට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි 'රේඛීය' ස්වභාවයක් ගැනීම වඩාත් සුදුසු ය.

 සෘජු සහ සැඟවුණු අධ්‍යාපනික ක්‍රියාවලිය

winnie the pooh Ernest Shepard 740x497 740x437

ළමා සාහිත්‍යය සතු සුවිශේෂී ලක්ෂණයක් වන්නේ 'ද්විත්ව ප්‍රේක්ෂකාගාරයක්' (Dual Audience) පැවතීමයි.  එනම් පොත කියවන ළමයා මෙන්ම, බොහෝ විට එය මිලදී ගන්නා සහ ශබ්ද නගා කියවන වැඩිහිටියා ද මෙහි පාඨකයෝ වෙති. මෙම ලිවීම දරුවාට ආමන්ත්‍රණය කිරීමට සුදුසු ශෛලියකින් යුක්ත විය යුතුය. කෘතිය සතු වාචිකත්වයේ ලක්ෂණ එනම්, වැඩිහිටියකුට එය දරුවා ඉදිරියේ ශබ්ද නඟා රසවත්ව කියවීමට ඇති හැකියාව කෙරෙහි සැලකිලිමත් විය යුතු ය.

පුනරාවර්තන සහ වචන හරඹ වැඩිහිටි සාහිත්‍යයේ දී පුනරාවර්තනය ඒකාකාරී වුවත්, ළමා සාහිත්‍යයේ දී එය ප්‍රබල මෙවලමකි. දරුවන් එකම වාක්‍ය රටාවන් නැවත ඇසීමට ප්‍රිය කරයි. චරිත හැඳින්වීමට නිරන්තරයෙන් එකම 'ලේබල්' භාවිත කිරීම (උදා: ඒ. ඒ. මිල්න් විසින් පූ හැඳින්වීමට භාවිත කළ “Bear of Very Little Brain” බඳු වැකි) දරුවා තුළ සමීප බවක් ඇති කරයි.  

සුබවාදී දිශානතිය (Optimistic & Happy Ending) දරුවන් ගේ මානසික නිරෝගීභාවය සහ පෞරුෂ වර්ධනය උදෙසා කෘතිය ක්‍රියාව කේන්ද්‍ර කරගත්, ප්‍රීතිමත් අවසානයක් සහිත එකක් වීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව සෘජු සහ සැඟවුණු අධ්‍යාපනික ක්‍රියාවලිය. ළමා සාහිත්‍යය උපතේ සිටම ප්‍රබල අධ්‍යාපනික සහ සමාජීකරණ අරමුණක් සහිතව ගොඩනැගේ. කතුවරයා මෙම ක්‍රියාවලිය ආකාර දෙකකින් සමබරව කළ යුතු ය.

 ලියන පෙළ මඟින් කියැවෙන දෑ ම රූපයෙන් ද දැක්වීම

සෘජු අධ්‍යාපනය යනු කතාව පුරාවට තුළ සෘජුවම අන්තර්ගත වන විද්‍යාත්මක, පාරිසරික දැනුම හෝ සදාචාරාත්මක සංකල්ප ය. කතාව පුරා සෘජුව උපදෙස් දෙනවා වෙනුවට, කථකයා ගේ අදහස් දැක්වීම් හෝ චරිතවල හැසිරීම් ) හරහා සමාජීය වටිනාකම් සහ සදාචාර ප්‍රමිති දරුවාට සියුම්ව සම්ප්‍රේෂණය කිරීම ළමා පාඨකයින් ගේ වර්ධන අවධි සහ ඔවුන් සතු සංජානන කුසලතා (cognitive skills) කෙරෙහි ලේඛකයා/ලේඛිකාව ඉතා අවදි විය යුතුය. . ඕනෑවට වඩා සංකීර්ණ ව්‍යාකරණ රටා, ව්‍යුහයන් හෝ දරුවන්ට තේරුම් ගැනීමට අපහසු 'ව්‍යාකරණාත්මක රූපක' බහුලව භාවිත නොකිරීමට වගබලා ගත යුතුය. එය දරුවාට පෙළ කියවීමේ පහසුව අඩාළ කරයි. වචන තේරීමට අමතරව, ළමා පාඨකයා දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණය කර ගැනීමට පිටු සැකසීමේ දී වෙනස් අකුරු ප්‍රමාණ, විසිතුරු මුද්‍රණ ශෛලි සහ සුදුසු නිදර්ශන/රූප භාවිත කිරීම වැදගත් වේ.  

ආකර්ෂණීය චරිත නිර්මාණය ළමා සාහිත්‍යයේ වැදගත්ම සහ සුවිශේෂීම අංගයකි. දරුවන් ප්‍රිය කරන සතුන්, කුඩා ළමයින් හෝ මනඃකල්පිත චරිත (සුරංගනාවියන් යනාදි) කතාවට යොදා ගැනීම තුළින් දරුවා කියවීමට පෙළඹවීමක් ඇති කරයි.  

ධනාත්මක පණිවිඩයක් හෝ ආදර්ශයක් ඇතුළත් කිරීම කතාව තුළින් පැහැදිලි සදාචාරාත්මක වටිනාකමක්, සහයෝගීතාවක් හෝ යහපත් පුරුද්දක් වක්‍රව (උපදේශනාත්මක නොවන ලෙස) කියා දීම. එමෙන්ම කතාවේ ගලායෑම සරල විය යුතු අතර, දරුවන් තුළ ඊළඟට කුමක් වේද යන කුතුහලය ඇති කළ යුතුය. ළමා පොත්වල අකුරුවලට වඩා චිත්‍ර වැදගත් වන බැවින්, චිත්‍ර ශිල්පියාට දෘශ්‍යමාන ලෙස කතාව මතු කිරීමට හැකි වන පරිදි ලිවීම. ස්වතන්ත්‍ර කෘතියක් බිහි කිරීමේදී චිත්‍ර ශිල්පියා සමග ඇති කරගන්නා සන්නිවේදනය ඉතා වැදගත්ය. ඔබ ලියන පෙළ මඟින් කියැවෙන දේම රූපයෙන් ද දැක්වීම වෙනුවට, පෙළෙහි නොමැති යම් සියුම් අදහසක් රූපය හරහා දරුවාට සමීප කිරීමට (Multimodality) ඉඩ තබන්න. එය දරුවාගේ පරිකල්පන ශක්තිය සහ සංජානන කුසලතා බෙහෙවින් උත්තේජනය කරන්නකි.

ළමුන් සදහා සාහිත්‍ය පරිවර්තනය කිරීම

ළමුන් සඳහා පරිවර්තනය කිරීම පහසු කාර්යයක් බව බොහෝ දෙනා විශ්වාස කරති. මෙම උපකල්පනය පිටුපස ඇති තර්කය වනුයේ, වැඩිහිටියන් සඳහා ලියැවුණු කෘතිවලට වඩා ළමුන් සඳහා ලියැවුණු කෘති කියවීම පහසු බවත්, එය කියවීමට පහසු නම් පරිවර්තනය කිරීමට ද පහසු විය යුතු බවත් ය. එක් අතකින් මෙය සත්‍යයකි. ළමා කෘතිවල ඇති පද-ව්‍යාකරණමය (lexico-grammatical) ලක්ෂණ සමහර විට වැඩිහිටි කෘතිවලට වඩා අඩු සංකීර්ණත්වයක් ගනී. පරිවර්තනය යනු විවිධ කේතන පද්ධති දෙකක් අතර පද සහ ව්‍යාකරණමය සමානතා සෙවීම පමණක්ය යන සරල දෘෂ්ටිය අප ප්‍රතික්ෂේප කළ ද, වචන සහ ව්‍යාකරණ පරිවර්තනය කිරීමේදී දැනෙන අඩු අපහසුතාවය නිසා පෙළෙහි ඇති අනෙකුත් ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමට අපට වැඩි නිදහසක් ලැබෙන බව තර්ක කළ හැකිය. ළමා පොතක් පරිවර්තනය කිරීම වැඩිහිටි පොතක් පරිවර්තනය කිරීමට වඩා පහසු යැයි පොදු මතයක් පැවතිය ද, සැබෑව නම් එය ඊට වඩා බෙහෙවින් සංකීර්ණ වීමයි. මෙහි දී පරිවර්තකයා ප්‍රධාන අභියෝග තුනකට මුහුණ දෙයි. එනම්: සරල කිරීම (Simplification), පැහැදිලි කිරීම (Explicitation), සහ සාමාන්‍යකරණය (Generalization).

සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන වර්ධනයේ සැබෑ තොරතුරු

ළමා කෘතියක් නිර්මාණය ට පෙර ලේඛකයා හෝ පරිවර්තකයා විසින් ළමයින් සහ වැඩිහිටියන් අතර වෙනස හඳුනා ගත යුතුය. එවිට එම කෘතිය සාර්ථකව ගොඩනැගීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. අපට 'වැඩිහිටියා' සහ 'ළමයා' අතර යම් වෙනස්කම් හඳුනාගත හැකිය. අප 'ළමයින්' ලෙස හඳුන්වන කණ්ඩායම වර්ධනය යන සමස්ත සංකල්පයෙන් සංලක්ෂිත වේ. කෙටියෙන් කිවහොත්, ළමයින් යනු ශීඝ්‍ර පුද්ගල වර්ධන අවධියක පසුවන පිරිසකි. මෙම වර්ධනය ඕනෑම මානයකින් සිදුවිය හැකි නමුත්, පොදුවේ ගත් කල එයට ශාරීරික, සමාජීය, චිත්තවේගීය, සංජානනීය (cognitive) සහ භාෂාමය වර්ධනය මෙන්ම, කියවීමේ සහ ලිවීමේ කුසලතා ඇතුළු විවිධ දැනුම සහ කුසලතා ක්ෂේත්‍රවල වර්ධනය ද ඇතුළත් වේ. වර්ධනයේ සැබෑ තොරතුරු සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් විය හැකි නමුත්, ශීඝ්‍ර වර්ධනයක් සිදුවන බව යන කරුණ සියලු ම සංස්කෘතිවලට පොදු ය. නමුදු ළමා වර්ධනය බොහෝ සංස්කෘතිවලට පොදු වූ පොදු ක්ෂේත්‍ර කේන්ද්‍ර කර ගනිමින් සිදුවේ. වැඩිහිටියන් සඳහා ලියවෙන සාහිත්‍ය කෘතිවල පාඨක පිරිස සීමා වන්නේ ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ රුචිකත්වය අනුව බව පැහැදිලි වේ. නමුත් ළමුන් සඳහා ලියවෙන කෘතිවලට වඩාත් නිශ්චිත ඉලක්ක තිබිය හැකි අතර, ඒවා දැනුම් මට්ටම්, කුසලතා සහ ඔවුන්ගේ වර්ධන වක්‍රවල පිහිටීම අනුව අර්ථ දක්වා ඇත . වෙනත් වචනවලින් කිවහොත්, ඒවා 'වයස' යන වචනයේ සාම්ප්‍රදායික භාවිතයෙන් අර්ථ දක්වා ඇත.

 පරිවර්තන විශ්වීය තත්ත්ව

නමුත් වැඩිහිටියන් යනු මෙම ශීඝ්‍ර වෙනස්වීම් කාල පරිච්ඡේද පසුකර, ඔවුන්ගේ වර්ධන වක්‍ර වෙනස් වී, වර්ධන වේගය මන්දගාමී වූ, ස්ථාවර වූ හෝ සමහර විට සෘණාත්මක වූ පුද්ගලයින් ය. වැඩිහිටියන් ද තවමත් වෙනස් වෙමින් සහ වර්ධනය වෙමින් පවතින බව පැහැදිලි ය. සමහර වැඩිහිටියන් ඇතැම් මානවලින්, විශේෂයෙන් ම ඔවුන් ගේ රැකියා ක්ෂේත්‍රවල හෝ වෙනත් විශේෂඥතා ක්ෂේත්‍රවල තවමත් වේගයෙන් වර්ධනය වේ. කෙසේ වෙතත්, සියලු ම වර්ධන මානවල සමස්ත වෙනස්වීම් වේගය සැලකීමේ දී වැඩිහිටියන්ගේ වර්ධනය ළමුන්ට වඩා බෙහෙවින් මන්දගාමී වේ. වර්ධන වේගය ළමුන් තුළ වැඩි වනවා පමණක් නොව, එහි ස්වරූපය ද වෙනස් වේ.  

ළමා සාහිත්‍යයේ "සරල බව" ආඛ්‍යාන මෙන්ම සංවාද මට්ටම් දෙකෙහිම දක්නට ලැබෙන අතර චරිත සංකීර්ණ නොවන ඒවා විය යුතුය. ළමා සාහිත්‍ය පරිවර්තනයේ දී සරල කිරීම, පැහැදිලි කිරීම සහ සාමාන්‍යකරණය යන පරිවර්තන විශ්වීය තත්ත්ව ඇතුළත් විය යුතුය.

ළමා සාහිත්‍ය කෘතියක් අනුවර්තනය කිරීමේ දී...

ළමා සාහිත්‍යය සහ එහි අනුවර්තන (Adaptations) දෙස බොහෝ දෙනකු බලන්නේ සරල දෘෂ්ටිකෝණයකිනි. වැඩිහිටියන් සඳහා ලියැවුණු සම්භාව්‍ය කෘතියක් ළමුන්ට ගැළපෙන සේ සරල බසින් නැවත ලිවීම, කෙටි කිරීම හෝ පරිවර්තනය කිරීම සාමාන්‍යයෙන් ළමා සාහිත්‍ය අනුවර්තනයක් ලෙස පොදුවේ හැඳින්වේ. මේ නිසාම, අතීතයේ දී බොහෝ විද්වතුන් විශ්වාස කළේ ළමා සාහිත්‍ය අනුවර්තනය යනු හුදෙක් ළමා පාඨකයාගේ සංජානන මට්ටමට ගැළපෙන පරිදි මුල් කෘතිය සරල කිරීමක් පමණක් බවත්, එහි පර්යේෂණාත්මක වටිනාකම ඉතා අවම බවත් ය.

අනුවර්තනයක් යනු කෘතියක් මාධ්‍ය හෝ ප්‍රභේදවල සීමාවන් හරහා ගමන් කරන විට සිදුවන ඕනෑම වෙනස් කිරීමකි. ළමා සාහිත්‍ය අනුවර්තනයේ ඇති විශේෂත්වය නම්, එය බොහෝ විට කාලය, සංස්කෘතිය (කලාපය) සහ පාඨක වයස යන සීමා සියල්ල එකවර පසු කිරීමයි. විවිධ ඓතිහාසික කාල පරිච්ඡේදවල සහ විවිධ මාධ්‍යවල පළ වූ සංස්කරණ එකිනෙක සංසන්දනය කිරීමෙන්, කෘතියක් තුළ සැඟවී පවතින සමාජ, මතවාදී සහ සදාචාරාත්මක සාධක වඩාත් හොඳින් මතු කරගත හැකි ය.විවිධ සංස්කෘතිවල විවිධ අධ්‍යාපන ක්‍රම පවතින අතර, මෙම විවිධ අධ්‍යාපන ක්‍රමවලට විවිධ අරමුණු, අන්තර්ගත සහ ක්‍රමවේද ඇත. එබැවින් විවිධ අධ්‍යාපන ක්‍රම මගින් විවිධ ප්‍රතිඵල ලබා දෙනු ඇත, නැතහොත් එකම ප්‍රතිඵලය විවිධ වයස්වල දී ලබා දෙනු ඇත. එබැවින්, ඕනෑම නිශ්චිත වයසක් සඳහා, දැනුම් මට්ටම්, දැනුම් ක්ෂේත්‍ර, සංජානන කුසලතා සහ කියවීමේ හැකියාව, පරීක්ෂාවට ලක්වන සංස්කෘතිය සහ භාෂාව මත පදනම්ව වෙනස් මුහුණුවරක් ගැනීමට ඉඩ ඇත.

 පාඨක පිරිස සමග සංස්කෘතිය ගැළපීමේ ගැටලුව

එක් සංස්කෘතියක සත් හැවිරිදි දරුවකුට තවත් සංස්කෘතියක සත් හැවිරිදි දරුවකුට වඩා වෙනස් වර්ධන පැතිකඩක් තිබිය හැකි ය. ඇත්ත වශයෙන් ම, මුල් කෘතියකින් ඉලක්ක කරන වර්ධන පැතිකඩ, ඉලක්කගත (පරිවර්තිත) සංස්කෘතිය තුළ කිසිසේත් ම නොතිබෙන්නට පුළුවන. ස්වභාවිකව ම, සංස්කෘති හෝ භාෂා සැලකිය යුතු ලෙස සමාන වන විට, වර්ධන පැතිකඩ සමපාත වීමට වැඩි ඉඩක් ඇත, නමුත් සංස්කෘති හෝ භාෂා බෙහෙවින් වෙනස් වන විට, එවැනි සමපාත වීමක් කිසිසේත්ම සිදු නොවීමට ඉඩ ඇත.

පරිවර්තිත Harry Potter නවකතාවක් කියවන වැඩිහිටියන්, කියවීමට පෙර, උදාහරණයක් ලෙස, බ්‍රිතාන්‍ය නේවාසික පාසල් පද්ධතිය (British boarding school system) පිළිබඳ යම් පසුබිම් දැනුමක් ලබා ගැනීමට ඉඩ ඇති අතර, එය අවබෝධ කර ගැනීමට බාධාවක් කර නොගනී. වැඩිහිටි පාඨකයා වෙනත් රටක සංස්කෘතියක් (උදා: බ්‍රිතාන්‍ය නේවාසික පාසල් පද්ධතිය) තේරුම් ගෙන කියෙව්වත්, දරුවාට එය අපහසුය. එබැවින් මුල් කතාවේ එන පරිසරය, නම්, ආහාර සහ සිරිත් විරිත් දේශීය දරුවන්ට සමීප දේ ඇසුරින් අනුවර්තනය කළ යුතු ය. වෙනස් අධ්‍යාපනික සංස්කෘතියක්/ඉතිහාසයක් ඇති සංස්කෘතියක වෙසෙන ළමුන්ට, බ්‍රිතාන්‍ය සංස්කෘතික පරිසරයක හැදී වැඩෙන එම වයසේම ළමුන්ට වඩා පෙළ අනුගමනය කිරීම හෝ අගය කිරීම වඩාත් අපහසු වනු ඇත. එවිට පරිවර්තකයාට එක්කෝ ඉහළ වයස් කාණ්ඩයක් සඳහා පරිවර්තනය කිරීමට, පරිවර්තිත පෙළට පැහැදිලි කිරීමක් හෝ පසුබිමක් එක් කිරීමට සිදු වේ; නැතහොත් එම අඩු පසුබිම් දැනුම් මට්ටමෙන් සෑහීමකට පත්වන ළමුන් ගේ සීමිත පාඨක පිරිස සඳහා පරිවර්තනය කිරීමට සිදු වේ. කෙටියෙන් කිවහොත්, වර්ධන පැතිකඩ නිරන්තරයෙන් වෙනස් වන බැවින්, නව පාඨක පිරිස සමග සංස්කෘතිය ගැළපීමේ ගැටලුව වැඩිහිටි කෘති පරිවර්තනයට වඩා ළමා කෘති පරිවර්තනයේ දී බෙහෙවින් වැඩි ය. ළමා පාඨකයින් සමග, ඔවුන් සතු දැනුමේ වර්ගය සහ ප්‍රමාණය වයස සමඟ ඉතා වේගයෙන් වෙනස් වන අතර, විවිධ සංස්කෘති හරහා ද බෙහෙවින් වෙනස් විය හැකි ය. මේ අනුව, එක් සංස්කෘතියක යම් පාඨක පිරිසක් මනසේ තබාගෙන නිර්මාණය කරන ලද පෙළක්, නව සංස්කෘතියක සමාන වයසේ පාඨක පිරිසකට සුදුසු නොවනු ඇත.

 අනුවර්තනයක දී සැලකිය යුතු වැදගත්ම කරුණ

images

ළමා සාහිත්‍ය අනුවර්තන සහ පරිවර්තන පර්යේෂණ යනු හුදෙක් එක් විෂයකට සීමා වූවක් නොවේ. පුනරාවර්තනය යනු බොහෝ පරිවර්තකයින්ට අපහසුතාවයක් ඇති කරන කරුණක් වුව ද, ශෛලිවේදීව ඉතා ප්‍රවේශමෙන් නිර්මාණය කරන ලද මුල් කෘති පරිවර්තනය කිරීමේ දී, ලේඛකයා යම් වචනයක් හෝ රටාවක් නැවත නැවත භාවිතා කළේ "ඇයි" (why) යන්න තේරුම් ගැනීම, එය කරන්නේ "කෙසේද" (how) යන්න තේරුම් ගැනීමට තරම්ම වැදගත් වේ. ව්ශේෂයෙන් ම වෙනත් භාෂාවක හෝ වෙනත් සංස්කෘතියක ඇති කතාවක් ළමයින්ට ගැළපෙන සේ අනුවර්තනය කිරීමේ දී මෙම කරුණු වැදගත් වේ.

සංස්කෘතික ගැලපීම (Cultural Adaptation / Localization) අනුවර්තනයක දී වැදගත්ම කරුණක් වේ. එනම් මුල් කතාවේ එන පරිසරය, නම්, ආහාර සහ සිරිත් විරිත් දේශීය දරුවන්ට තේරුම් ගත හැකි සහ ඔවුන්ට සමීප දේවල් ඇසුරින් වෙනස් කිරීම මෙන් ම සරල සහ සුදුසු භාෂා භාවිතය අනුවර්තනයක දී ඉතාමත් වැදගත් වේ. මුල් කෘතියේ ඇති සංකීර්ණ වචන හෝ වැකි, ඉලක්කගත වයස් කාණ්ඩයට ගැළපෙන පරිදි සරල බස් වහරකින් ප්‍රතිනිර්මාණය කිරීමට පරිවර්තකයින් වගබලා ගත යුතු ය. මූලික කතා තේමාව ආරක්ෂා කිරීමේ දී බාහිර කරුණු වෙනස් කළත්, මුල් කතාවෙන් දීමට උත්සාහ කළ ප්‍රධාන ආදර්ශය හෝ වින්දනය එලෙසම පවත්වා ගැනීම වැදගත් ය. Harry Potter කෘතියේ එන 'Wizard' (මායාකාරයා) යන වචනය චෙක් (Czech) භාෂාවට පරිවර්තනය කිරීමේ දී, හොඳ මායාකාරයන්ට kouzelník ලෙසත්, නරක මායාකාරයන්ට černokněžník ලෙසත් යොදා ගනිමින් පරිවර්තකයා දරුවාට අර්ථය පැහැදිලි කර දී ඇත. මෙවැනි ශෛලීය තේරීම් දේශීය ළමා මනසට ගැලපෙන සේ සිදු කළ යුතු ය.

 වර්තමානයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන සංජානන විචාරය

අකුරු සහ පිටු සැකසුම (Stylistics) සාහිත්‍ය කෘතියක් නිර්මාණයේදී වැදගත්ම කරුණකි. වචන තේරීමට අමතරව, පිටු සැකසීමේ දී වෙනස් අකුරු ප්‍රමාණ, විසිතුරු මුද්‍රණ ශෛලීන් සහ නිදර්ශන එනම්රූප භාවිතය මගින් දෘශ්‍යමය වශයෙන් දරුවා ඇද බැඳ තබා ගත යුතුය. ලිවීමේ දී ම චිත්‍ර ශිල්පියාට දෘශ්‍යමාන ලෙස කතාව මතු කිරීමට ඉඩ තැබීම (Leaving room for illustrations) කළ යුතු ය. නිදර්ශන සහ චිත්‍ර වෙනස් කිරීම (Adapting Illustrations) භාවිතය කියවීමට දරුවන්ව පොළඹවන කරුණකි. කතාවේ එන චරිතවල ඇඳුම් පැලඳුම් සහ පසුබිම් දේශීය දරුවන්ට හුරුපුරුදු ලෙස චිත්‍රයට නැගීම.  

සැම විට ම ලේඛකයකු/ලේඛිකාවක, දරුවන්ව සුබවාදී දිශානතියකට යොමු කිරීමට උත්සහ කළ යුතුය. පොදුවේ පිළිගන්නා ළමා සාහිත්‍ය සම්ප්‍රදායන්ට අනුව, දරුවන්ගේ මානසික නිරෝගීභාවය සහ පෞරුෂ වර්ධනය උදෙසා කෘතිය ක්‍රියාව කේන්ද්‍ර කරගත්, සුබවාදී සහ ප්‍රීතිමත් අවසානයක් (optimistic and happy ending) සහිත එකක් වීම දරුවන්ට වඩාත් හිතකර වේ.

ආඛ්‍යානවේදයට අනුපූරක වෙමින් ක්‍රියාත්මක වන ශෛලීවේදය (stylistics) මගින් වචන තේරීම, වාක්‍ය රටා සහ ළමා පාඨකයා ආකර්ෂණය කර ගැනීමට භාවිත කරන සුවිශේෂී මුද්‍රණ ශෛලීන් (විකෘති පිටු සැකසුම්, වෙනස් අකුරු ප්‍රමාණ) පිළිබඳව ක්ෂුද්‍ර මට්ටමින් ගවේෂණය කරයි. එමෙන්ම, වර්තමානයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන සංජානන විචාරය (cognitive criticism) මඟින් විවිධ සංජානන කුසලතා ඇති ළමා පාඨකයා පෙළ සමඟ දක්වන මැදිහත්වීම අධ්‍යයනය කරයි. ළමා සාහිත්‍යය උපතේ සිටම සමාජීකරණ (Socialization) අරමුණක් සහිතව ගොඩනැඟේ. සාර්ථක ලේඛකයෙකු හෝ අනුවර්තකයෙකු මෙම ක්‍රියාවලිය ආකාර දෙකකින් සමබර කළ යුතුය. සෘජු අධ්‍යාපනය පෙළ තුළ සෘජුවම අන්තර්ගත වන විද්‍යාත්මක, පාරිසරික දැනුම හෝ සදාචාරාත්මක සංකල්ප පිළිබඳව දරුවන්ට හැඟීමක් අවබෝධයක් ඇතිවන පරිදි අනුවර්තනය සිදු කළ යුතු ය. එලෙසම සැඟවුණු අධ්‍යාපනය තුළින් කතාව පුරා සෘජුව උපදෙස් දෙනවා වෙනුවට, චරිතවල හැසිරීම් සහ කථකයාගේ ස්වභාවය හරහා සමාජීය වටිනාකම් සියුම්ව සම්ප්‍රේෂණය කිරීම සිදු කිරීම කතුවරයාගේ වගකීමකි.

ළමා අනුවර්තන කෙරෙහි බලපාන රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති

459

උදාහරණයක් ලෙස, චීන නව විෂයමාලා ප්‍රමිතීන් තුළ Robinson Crusoe, Gulliver's Travels යනාදි සම්භාව්‍ය කෘති නිර්දේශ කර ඇත්තේ සිසුන් ගේ සදාචාරාත්මක වර්ධනය සහ නිරෝගී පෞරුෂය පෝෂණය කිරීමේ රාජ්‍ය අධ්‍යාපනික අවශ්‍යතාව මත ය.  

ඇනා චර්මකෝවා විසින් විවිධ වයස් කාණ්ඩ දෙකක් ඉලක්ක කරගත් සම්භාව්‍ය ළමා කෘති දෙකක් සහ ඒවායේ චෙක් (Czech) භාෂා පරිවර්තන ඇසුරෙන් මෙම කරුණු පැහැදිලි කර ඇත:

හැරී පොටර් (Harry Potter): Harry Potter and the Philosopher's Stone හි wizard (මායාකාරයා) යන වචනය 65 වතාවක් දක්නට ලැබෙන අතර, චෙක් පරිවර්තනයේ දී පරිවර්තකයා හොඳ මායාකාරයින් සඳහා kouzelník යන්නත්, නරක මායාකාරයන් (dark wizards) සඳහා černokněžník යන්නත් භාවිතා කරමින් පරිවර්තනය පැහැදිලි කිරීමට (exploitation) උත්සාහ කර ඇත.  

විනී ද පූ (Winnie the Pooh): Winnie the Pooh සහ The House at Pooh Corner හි පූ සඳහා යෙදෙන Bear of Very Little Brain (ඉතා කුඩා මොළයක් ඇති වලසා) යන වචන හතරේ පද්ධතිය (Cluster ලේබලය) චෙක් පරිවර්තනයේදී ස්ථාන කිහිපයක විවිධ ආකාරයෙන් පරිවර්තනය කර ඇත. මෙම විවිධාංගීකරණය නිසා මුල් කෘතියේ තිබූ පුනරාවර්තන රසය සහ වචන හරඹය (word play) පරිවර්තනයේ දී ගිලිහී ගොස් ඇත.  

වැඩිහිටි සාහිත්‍යයට වඩා වෙනස්ව, ළමා සාහිත්‍යය උපතේ සිටම ප්‍රබල අධ්‍යාපනික සහ සමාජීකරණ (socialization) අරමුණක් සහිතව ගොඩනැගේ. ළමා සාහිත්‍යය තුළ අධ්‍යාපනික ක්‍රියාවලිය ආකාර දෙකකින් සිදුවේ. වැඩිහිටි ලෝකයේ පවතින සංස්කෘතික වටිනාකම්, චර්යාත්මක සම්මත සහ ප්‍රමුඛ සදාචාර ප්‍රමිත් ළමා පාඨකයා වෙත සම්ප්‍රේෂණය කිරීම. මෙය කථකයා ගේ අදහස් දැක්වීම්, වැඩිහිටි චරිතවල අධිකාරිය හෝ 'සැඟවුණු කර්තෘවරයා' (implicit author) හරහා සියුම්ව සිදු කෙරේ. ළමා සාහිත්‍ය අනුවර්තනය නිසි ලෙස වටහා ගත හැක්කේ අධ්‍යාපනය, ආඛ්‍යානවේදය, සංජානන විද්‍යාව සහ ඩිජිටල් මානව ශාස්ත්‍ර (digital humanities) යන සියලුම ක්ෂේත්‍රයන්හි එකතුවෙන් ලැබෙන අන්තර්-විෂය ආලෝකය තුළිනි.

ඉහත සාකච්ඡා කළ ජාත්‍යන්තර ශාස්ත්‍රීය සංකල්ප සහ පර්යේෂණ ක්ෂේත්‍ර, ලාංකීය ළමා සාහිත්‍ය ප්‍රවාහය, එහි වර්තමාන පරිවර්තන කලාව සහ ස්වයං නිර්මාණකරණය (ස්වතන්ත්‍ර ලිවීම) විමසා බැලීමේදී ඉතා සෘජුව සහ ප්‍රබලව සම්බන්ධ කරගත හැකි ය.

 අනවශ්‍ය ලෙස භාෂාව විවිධාංගීකරණය කිරීම

ඇනා චර්මකෝවා බදු සාහිත්‍යධරයින් පෙන්වා දෙන පරිදි, ඉංග්‍රීසි වැනි මහා පරිමාණ භාෂාවලට සාපේක්ෂව චෙක් වැනි සංඛ්‍යාත්මකව 'කුඩා භාෂා' කතා කරන සමාජ විදේශීය සාහිත්‍යය වඩාත් පහසුවෙන් වැලඳ ගනී. සිංහල යනු එවැනි ගෝලීය මට්ටමින් කුඩා භාෂා පද්ධතියකි. මේ නිසා ලංකාවේ ළමා සාහිත්‍යය තුළ පරිවර්තන සහ අනුවර්තනවලට හිමිවන්නේ සුවිශේෂී ඉහළ ස්ථානයකි. තොප්පි වෙළෙන්දා, රතු හැට්ටකාරී, ඇලිස්, පිනෝකියෝ වැනි සම්භාව්‍ය බටහිර කෘතිවල සිට නූතන හැරී පොටර් දක්වා වූ කෘති සිංහල ළමා සාහිත්‍යයේ ප්‍රධාන කොටස්කරුවන් වී ඇත්තේ මේ නිසා ය.  

පරිවර්තකයින් ලාංකීය සංස්කෘතියට (Cultural context) ගැළපෙන සේ මතවාදී සහ ශෛලිවේදී වෙනස්කම් සිදු කරයි. උදාහරණයක් ලෙස, බටහිර කෘතිවල එන ළමුන්ගේ ඇතැම් චර්යා හෝ ආහාර සංස්කෘති, සිංහල දරුවාට සමීප කරවීම සඳහා 'සාමාන්‍යකරණය' (Normalization) කරනු ලැබේ. එමෙන්ම, ඉංග්‍රීසි බසින් ව්‍යංගයෙන් කියවෙන දේ සිංහල ළමා පාඨකයා උදෙසා වචන බහුල කරමින් 'පැහැදිලි කිරීමට' පරිවර්තකයින් පෙලඹේ.  

සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය තුළ ද එකම වචනය නැවත නැවත භාවිත කිරීම (පුනරාවර්තනය) ශෛලිවේදී දෝෂයක් ලෙස සලකන ප්‍රවණතාවක් පවතී. මේ නිසා, ඉංග්‍රීසි ළමා පොත් සිංහලට පරිවර්තනය කිරීමේදී ලාංකීය පරිවර්තකයන් එකම වචනය වෙනුවට "පැවසුවාය", "කීවාය" . "මුමුණන්නීය", "උස් හඬින් කීවාය" ආදී වශයෙන් විශාල ලෙස භාෂාව විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, ළමා මනෝවිද්‍යාවට අනුව දරුවන් පුනරාවර්තන රටාවලට ප්‍රිය කරන බැවින්, මෙලෙස අනවශ්‍ය ලෙස භාෂාව විවිධාංගීකරණය කිරීමෙන් මුල් කෘතියේ තිබූ සරල ආකර්ෂණය සහ වචන හරඹය සිංහල පරිවර්තන තුළ ගිලිහී යෑමේ අවදානමක් පවතී.

 සැඟවුණු අධ්‍යාපනික ක්‍රියාවලිය

ලාංකීය ස්වතන්ත්‍ර ළමා සාහිත්‍යය තුළ විශේෂයෙන්ම මාටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස, සිබිල් වෙත්තසිංහ යනාදි ප්‍රාඥයන් ගේ සිට නූතන ලේඛක ලේඛිකාවන් දක්වා මෙම ලක්ෂණය අතිශයින්ම ප්‍රබලය. අපේ රටේ ළමා පොත්වල බොහෝ විට වැඩිහිටි සමාජය විසින් අනුමත කරන ලද ආගමික, සංස්කෘතික සහ සදාචාරාත්මක වටිනාකම් සියුම් ලෙස අන්තර්ගත කර ඇත. කෙසේ වෙතත්, ඇතැම් ලාංකීය කෘතිවල මෙම අධ්‍යාපනික අරමුණ 'සැඟවුණු' ස්වභාවයෙන් ඔබ්බට ගොස්, ඕනෑවට වඩා සෘජු උපදේශාත්මක (Didactic) මුහුණුවරක් ගැනීම නිසා ළමා සාහිත්‍යයේ කලාත්මක රසය යටපත් වන අවස්ථා ද දැකිය හැකි ය. ලංකාවේ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් උදෙසා ලියැවෙන පොත් (විශේෂයෙන්ම සිබිල් වෙත්තසිංහ ගේ කුඩ හොරා, මැටි ගෙදර ළමයි යනාදි කෘති) මෙම 'ද්විත්ව ප්‍රේක්ෂකාගාර' සංකල්පයට කදිම නිදසුන් ය. ඒවායේ ඇති 'වාචිකත්වයේ ලක්ෂණ' (Features of orality) නිසා මවකට හෝ ගුරුවරයකුට එම පොත් දරුවා ඉදිරියේ ශබ්ද නඟා, රිද්මයානුකූලව ගායනය කරමින් කියවීමේ හැකියාව ඉහළ ය.  

ලාංකීය ළමා සාහිත්‍යයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ සෘජුවම දරුවාට උපදෙස් දෙන (didactic) ස්වභාවයක්. නමුත් නූතන ප්‍රවණතාව වන්නේ සැඟවුණු අධ්‍යාපනික ක්‍රියාවලිය යි. ලේඛිකාවක ලෙස චරිතවල හැසිරීම්, ඔවුන් ගන්නා තීරණ සහ එහි ප්‍රතිඵල හරහා සදාචාරාත්මක වටිනාකම් දරුවාට සියුම්ව දැනෙන්නට ඉඩ හැරිය යුතුය.. එවිට දරුවා එය 'උපදෙසක්' ලෙස නොව 'වින්දනයක්' ලෙස වැලඳ ගනී. ලේඛක ලේඛිකාවන් විසින් පොත ලියන අතරතුරේ දී ම, එම වාක්‍ය ඛණ්ඩ ශබ්ද නගා කියවා බලන්න. එහි භාෂාමය රිද්මයක් සහ සන්නිවේදන ස්වරූපයක් (Features of orality) තිබේදැයි විමසීමට ඔවුන් හුරු වුවහොත් වැඩිහිටියාට කියවීමට පහසු වන වගේම දරුවා සවන් දී සිටීමට ප්‍රිය කරන බස් වහරක් ගොඩනැගීමෙන් ඔබට 'ද්විත්ව ප්‍රේක්ෂකාගාරය ම' එකවර ජය ගත හැකියි.

 ස්වතන්ත්‍ර ළමා සාහිත්‍යකරණය

ළමා සාහිත්‍ය කෘතියක් ස්වතන්ත්‍රව නිර්මාණය කිරීමේ දී "කළ යුතු දේ" වගේම, දරුවන් ගේ මානසික සහ සංජානන වර්ධනයට හානි නොවන පරිදි "සිදු නොකළ යුතු වැදගත් කරුණු" කිහිපයක් පවතී.

කතාව පුරාවට "මෙහෙම කරන්න එපා", "අහවල් දේ වැරදියි", "හොඳ ළමයා වෙන්න ඕනෑ" ආදී වශයෙන් දරුවාට සෘජුව ම අවවාද දීම හෝ දේශනා කිරීම සුදුසු නැත. මන්ද එයින් කෘතියේ පවතින කලාත්මක රසය මෙන්ම දරුවා ඉන් ලබන වින්දනය සම්පූර්ණයෙන් ම යටපත් වෙනවා. දරුවන් එවැනි වියළි උපදෙස් සහිත පොත් කියවීමට මැළිකමක් දක්වනු ඇත. එලෙස ම දරුවන්ට තේරුම් ගැනීමට අපහසු, වියුක්ත අදහස් දනවන වචන හෝ ඕනෑවට වඩා පටලැවිලි සහගත ව්‍යාකරණ රටා භාවිත කිරීම සිදු නොකළ යුතු ය. මන්ද එයින් දරුවාට පෙළ කියවීමේ සහ තේරුම් ගැනීමේ පහසුව අඩාල වන අතර, ඔවුන් පොත කෙරෙහි දක්වන උනන්දුව ගිලිහී යෑමට ඉඩ ඇත. එසේම කතාව නිර්මණය කිරීමේ දී අනවශ්‍ය පටලැවීම් සිදු නොකළ යුතුය. කාලය හරහා පසුපසට හෝ පෙරට යන, එකිනෙකට පටහැනි උප-කථාන්දර රැසක් සහිත සංකීර්ණ කථා වස්තු නිර්මාණය කිරීම.ළමා මනසට වඩාත් සුදුසු වන්නේ සරල, ගලායන 'රේඛීය' ආඛ්‍යාන ක්‍රමයක්. සංකීර්ණ ව්‍යුහයන් නිසා දරුවා අවුලකට පත් විය හැකි ය.  

අත්තනෝමතික ලෙස දරුවාගේ සංජානන මට්ටම පහත් කොට සැලකීම සිදුනොකළ යුතුය. ළමයින්ට මේවා තේරෙන්නේ නැහැ" කියා සිතමින් කතාවේ අන්තර්ගතය ඕනෑවට වඩා පිරිහෙළීම හෝ දරුවා ගේ බුද්ධිය හෑල්ලුවට ලක්වන අයුරින් අතිශය බොළඳ ලෙස ලිවීම. Lisa Zunshine යනාදි සංජානන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ කතාවක් සරල වුව ද, එහි තිබිය යුතු සාධාරණ "සංජානන ව්‍යුහ" (embedded cognitions) අත්තනෝමතික ලෙස බිඳ නොදැමිය යුතු බවයි. එය දරුවාගේ සාහිත්‍යමය රසඥතාව සහ පරිකල්පන වර්ධනය අඩාළ කරයි.

ද්විත්ව ප්‍රේක්ෂකාගාරය අමතක කිරීම

පොත කියවන්නේ හෝ අසන්නේ දරුවා පමණක්ම යැයි සිතා, එය ශබ්ද නඟා කියවන වැඩිහිටියා ගේ (මව/ගුරුවරයා) භූමිකාව සහ කියවීමේ රිද්මය අමතක කර දැමීම නොකළ යුතු ය. මන්ද ළමා පොතක් සාර්ථක වන්නේ එය දරුවා ට වගේ ම, එය ශබ්ද නගා කියවන වැඩිහිටියාට ද එකසේ ආකර්ෂණීය වන භාෂා රිද්මයකින් යුක්ත වන විටයි.

නිදර්ශන (චිත්‍ර) හුදෙක් සැරසිල්ලක් ලෙස පමණක් සලකා කටයුතු කිරීම.

කතාව ලියා අවසන් වී, එහි ඇති දේ ඒ අයුරින්ම චිත්‍රයට නැඟීමට පමණක් ශිල්පියාට ඉඩ දීම සිදු නොකළ යුතුය. මන්ද සාර්ථක ළමා පොතක පෙළ සහ රූපය එකිනෙක අනුපූරක වෙමින් බහු-ආකෘතික (multimodality) සන්නිවේදනයක් ගොඩනැඟිය යුතුයි. පෙළෙහි නොකියවෙන යමක් රූපයෙන් දරුවාට පෙනෙන්නට හැරීම සිදු නොකළහොත්, නිර්මාණයේ පරිකල්පනීය ඉඩකඩ සීමා වේ.

අශුභවාදී සහ බියකරු අවසානයන් නිර්මාණය කිරීම.

දරුවා තුළ දැඩි කම්පනයක්, බියක් හෝ බලාපොරොත්තු සුන්වීමක් ඇති කරන අශුභවාදී අවසානයන් (pessimistic endings) නිර්මාණය කිරීම.සාමාන්‍ය ළමා සාහිත්‍ය සම්ප්‍රදායට අනුව, දරුවන් ගේ නිරෝගී පෞරුෂ වර්ධනයට සහ මානසික සුවයට වඩාත් හිතකර වන්නේ ක්‍රියාව කේන්ද්‍ර කරගත්, සුබවාදී සහ ප්‍රීතිමත් අවසානයක් (happy ending) සහිත කෘති වේ.  

ලාංකීය ළමා සාහිත්‍යයේ රූප සහ පෙළ අතර පවතින සන්නිවේදනය පිළිබඳව තවමත් විද්‍යාත්මක හෝ ආඛ්‍යානවේදී පර්යේෂණ සිදුවන්නේ ඉතා අවම වශයෙනි. බොහෝ විට සිදුවන්නේ කතාව ලියා අවසානයේ, එය නිරූපණය කිරීමට චිත්‍ර ශිල්පියකු ලවා රූප ඇඳීමයි. නමුත් නූතන ආඛ්‍යානවේදී සංකල්ප ලාංකීය ක්ෂේත්‍රයට ආදේශ කිරීමෙන්, රූපය සහ පෙළ එක සමානව කතාව ඉදිරියට රැගෙන යන උසස් තත්ත්වයේ බහු-ආකෘතික ළමා පොත් නිර්මාණය කිරීමට අපේ කතුවරුන්ට මඟ පෙන්විය හැකි ය.

 ළමා සාහිත්‍යයේ නව මාන නිවැරදිව හඳුනාගැනීම

ළමා සාහිත්‍යය යනු හුදෙක් අතීතකාමී වියළි උපදෙස් මාලාවක් නොව, දරුවාගේ පරිකල්පන පියාපත් විහිදුවාලන ජීවමාන කලාවකි. ලේඛකයෙකු, පරිවර්තකයෙකු හෝ අනුවර්තකයෙකු ලෙස ළමා මනස වෙනුවෙන් පෑන හසුරුවන විට, කෝපස් ශෛලිවේදය, ආඛ්‍යානවේදය සහ සංජානන විද්‍යාව යනාදි නූතන ප්‍රවේශවලින් ලැබෙන අන්තර්-විෂය ආලෝකය මිල කළ නොහැකි ය. දරුවාගේ වර්ධන වක්‍රය සහ සංස්කෘතික සීමා නිසි ලෙස වටහා ගනිමින්, නිර්මාණකරණයේදී "සිදු නොකළ යුතු" සීමා පිළිබඳව අවදිව සිටීමෙන් අපට වඩාත් සාර්ථක මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ළමා නිර්මාණ පද්ධතියක් ලාංකීය පොත් ලෝකය තුළ ගොඩනැගිය හැකි ය. හෙට දවසේ ලෝකය භාර ගැනීමට සිටින දූ දරුවන් ගේ පෞරුෂය නිරෝගීව වර්ධනය කරමින්, ඔවුන්ව සුබවාදී දිශානතියකට රැගෙන යෑමට නම් අප ළමා සාහිත්‍යයේ මෙම නව මාන නිවැරදිව හඳුනාගෙන නිර්මාණකරණයේ යෙදීම අත්‍යවශ්‍ය වගකීමකි.

නිලක්ෂි බණ්ඩාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න