Language Switcher

V2025

මිලියන 4000ක් ඉල්ලා - විමලවීරට සහ කෝකිලාට : රවීගෙන් එන්තරවාසි !

සාවද්‍ය ප්‍රකාශයක් මගින් තම කීර්තිනාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අදාළ ප්‍රකාශය සිදුකළ රාජ්‍ය අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති අතර, අදාළ සාවද්‍ය ප්‍රකාශය මගින් තම කීර්තිනාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුලත රු. මිලියන 2000 බැගින්, මිලියන 4000 ක වන්දි මුදලක් ලබාදෙන ලෙස එම පාර්ශවයන් වෙත දැනුම් දී තිබේ.

මෙසේ හිටපු අමාත්‍ය රවී කරුණානායක විසින් එන්තරවාසි යවා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධනට විරුද්ධවය.

මේ සම්බන්ධ නිවේදනයක් හිටපු අමාත්‍ය රවී කරුණානායක ගේ මාධ්‍ය ලේකම් විසින් නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී සීනි සදහා බදු අඩු කිරීම, සීනි ආනයනය/ ගබඩාකරණය වංචනික ලෙස සිදුකිරීම, ලගම මිතුරන් සහ සමාගම් වලට සීනි ආනයනය වෙනුවෙන් තම ගබඩා පහසුකම් ලබාදීම ආදී වංචනික ක්‍රියාවන් රැසක් සිදුකළ බවට පවසමින්, 2021.08.07 දින දෙරණ නාලිකාවේ විකාශය වූ වාදපිටිය වැඩසටහනට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අපහාස සිදුකර ඇති අතර, ඒ හා සමාන සාවද්‍ය චෝදනාවන් ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් 2021.08.05 දින හිරු නාලිකවේ ප.ව. 6.55 ප්‍රවෘත්ති විකාශයන්හිදී හිටපු අමාත්‍යවරයාගේ කීර්ති නාමයට හානිවන පරිදි ප්‍රකාශයන් සිදුකර තිබේ.

මෙසේ පදනම් විරහිත සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා හුදෙක් ජනතාව නොමගහැරීමේ අභිලාශයෙන් සිදුකල අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් පුද්ගලික වශයෙන් හා දේශපාලනමය වශයෙන් හිටපු අමාත්‍යවරයාගේ කීර්තිනාමට බලවත් හානියක් සිදුවූ අතර එමගින් ඒ මහතාගේ මානසිකත්වයටද එල්ල වී ඇත්තේ දැඩි ප්‍රහාරයකි.

රවී කරුණානායක මහතාගේ දියණියට අයත් සමාගමක් වෙතද පසුගියදා මෙවැනිම අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් වූ අතර එම චෝදනා සියල්ල සාවද්‍ය බවට තහවුරු කරමින් එම සමාගම මගින් මාධ්‍ය වෙත නිවේදනයන්ද නිකුත්කර තිබියදීත්, නැවත නැවත මේ ආකාරයෙන් දූෂමාණ ප්‍රචාරයන් මුදාහැරීම මගින් හිටපු අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ පවුලේ කීර්තිනාමය වෙත දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර එයින් ඔවුන් ලැබූ මානසික පීඩනය ඉතාමත් දැඩිය.

අදාළ හානිය වෙනුවෙන් එක් අයෙකුගෙන් රු. මිලියන 2000 බැගින් රු. මිලියන 4000 ක වන්දියන් ඉල්ලා එන්තරවාසි යොමුකිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර, දෙසතියක් ඇතුලත අදාළ වන්දි මුදල් නොලැබුණහොත්, ඔවුනට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගැනීමටද නියමිතය.