මහ කන්නයේ ‘කුඹුරු පිදුරු‘ සංකල්පය ‘සාගතයකින් කෙළවර වේවි - රෝහිණී

මහ කන්නයේ ‘කුඹුරු පිදුරු‘ සංකල්පය ‘සාගතයකින් කෙළවර වේවි - රෝහිණී

පොහොර නැතිව, වල් - කෘමි - දිලීර නාශක නැති මෙවර මහ කන්නය ‘කුඹුරු පිදුරු‘ කරනු ඇතැයි ද, ආණ්ඩුවේ ‘සාගතයක දැක්ම‘ මෙගා නාට්‍යය රඟදක්වමින් සිටින බව ද මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී  රෝහිණී කවිරත්න පවසයි.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමිනි.
අදාළ නිවේදනයේ මෙසේද දැක්වෙයි.

පොහොර හිඟය, වල් සහ කෘමි නාශක නොමැති නිසා මහ කන්නයේ වගාව ගොවීන් උනන්දුවක් නොදක්වති.  කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති තුනකි.  වෙනදා දක්නට ලැබෙන පූර්ව වගා සුදානම නැගෙනහිර, උතුරු මැද, මධ්‍ය, ඌව පලාත්වල දකින්නට නැත.  හේන් ගිණිතබා, ඇල මාර්ග සුද්ධ කර, පස පෙරලන්නට සුදානම් නැත. ගොවීන් වී සහ හේන් වගාවෙන් ඉවත් වීමේ අවදානමක් පවතී.

හේන් ගොවීතැනට භුමිය සකස් කිරීම සඳහා මේ වන විට වල් නාශක ලැබී තිබිය යුතුය.  ව්‍යාපාරිකයින් හා මහා පරිමාණ වගාකරුවන් රටේම වල් බෙහෙත් නැගෙනහිර ට අදිමින් සිටී. මේ ප්‍රශ්නයට විසඳුම් නෙැලැබෙන්නේ නම් පමාවී මහ කන්නයේ වගා අරඹන උතුරු මැද, මධ්‍යම හා ඌව, උතුරේ ගොවියාට යන එන මං නැති වනු ඇත.  

බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලු, මෙනේරි) ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත.  හයිබ්‍රිඩ් බීජවර්ග ආරක්ෂා කර ගැනීම සඳහා කෘෂි රසායන යෙදීම අතශ්‍යවශවේ.  

කෙටි කාලීන වී වර්ගවල වල් මර්ධනය සඳහා වල් නාශක අත්‍යවශ්‍ය වේ. වී වපුරා හෝ පැල සිටවා දින 3 සිට සති 4 දක්වා කාලය තුල ගොයම් වගාවේ වල් මර්ධනය කළ යුතුය.  නැතිනම් වල් පැල පසේ සාරය උරාගෙන ගොයම් ගස දුර්වල වේ.  කෘෂි රසායනික නොමැතිව දැනටමත් රජරට කුඹුරු බොල් වී පිදුරු බවට පත්ව ඇත. කුඹුරේ පිදුරු මිස වී නැත.
මහ කන්නයේ ‘කුඹුරු පිදුරු‘ කරමින් රජය ‘සාගතයේ දැක්ම‘ මෙගා නාට්‍යය රඟ දක්වමින් සිටී.
 
තනි සමාගම් ඒකාධිකාරය සහ බෝට්ටු කෘෂි රසායන

කෘෂි රසායන වෙළඳපොලට නිකුත් නොකරන්නේ නම්, ගොවින් මහ කන්නයේ වගාවෙන් ඉවත්විම වැලැක්විය නොහැකිය.  ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට ගෙන්වනු ලැබන කිසිදු ප්‍රමිතියක් නැති කෘෂි රසායන (කෘමි හා වල් නාශක) ජාවාරමක් ඇරඹී ඇත. අධික විශ සහිත වල් නාශක ප්‍රසිද්ධියේම අලෙවි වේ.

තනි සමාගමකට කෘෂි රසායන ආයනයන ඒකාධිකාරය ලබාදීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇත.  සාධරණ තරඟකාරී වෙළෙඳපොලක් නිර්මාණය කර ගොවියාට පහසුමිලට කෘෂි රසායන ලබා ගැනීමට අවස්ථාව ලැබිය යුතුය. සලාක ක්‍රමයට කෘෂි රසායන ලබාදීමට උත්සහ දැරීම කළු කඩ ක්‍රමයක් නිර්මාණය කරනු ඇත.

එමෙන්ම, දිලීර රෝග, කෘමි රෝග සඳහා දිනක් හෝ දෙකක් තුල පිළියම් යෙදිය නොහැකි නම් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වේ. පොහොර සඳහා කාබනික ආදේශක සිමිත ප්‍රමාණයක් හෝ ඇති නමුත්, වානිජ්‍ය වගාවක කෘෂි රසායන සඳහා ආදේශක නොමැත.

මහ කන්නයේ දැඩි වර්ශාවක් ලැබෙන බැවින් දිලීර නාශක නොමැතිව වගා කළ නොහැකිය.  මීදුම, අධික වැස්ස දින තුනක් - හතරක් තුල නුවරඑළිය, නාවලපිටිය, නකල්ස් කදු පන්තිය, ඉහළ ඌව කලාපයේ එළවළු, පළතුරු, අර්තාපල්, මල් සහ විසිතුරු වගාවන් විනාශ විය හැකිය.  

රජයේ අදූරදර්ශී වැඩ පිළිවෙල ‘කුඹුරු - පිදුරු‘ කිරීමකි.  සාගතයට අත වැනීමකි.  මහ කන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම රජයේ වගකීමකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න